රු.කෝටි 3.5ක බැංකු කොල්ලයට සහකාර කළමනාකරුවෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
හොරණ ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුන හමාරක මුදලක් සූක්ෂ්ම ලෙස කොල්ලකෑමේ මහා පරිමාණ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන පුළුල් විමර්ශනවලට අනුව, එම බැංකුවේම සහකාර කළමනාකරුවෙකු සහ එහි සේවය කළ ආරක්ෂක නිලධාරියෙකු වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශ කරයි.
මෙම බැංකු කොල්ලය සම්බන්ධයෙන් සැකපිට අදාළ සහකාර කළමනාකරුවාගෙන් සහ ආරක්ෂක නිලධාරියාගෙන් අද පෙරවරුවේදී දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, පසුව ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
බැංකුව තුළින්ම ලැබුණු අභ්‍යන්තර සහයෝගයක් මත මෙම කොල්ලය සිදුව ඇති බවට සැකකෙරෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ සෘජු ප්‍රධානත්වයෙන් සහ අපරාධ අංශ ස්ථානාධිපති රංග දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි.