ප්‍රසිද්ධ තැනක නොහොබිනා ලෙස හැසිරුණු දරුවන් - ජෝඩු 24ක් අල්ලයි

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 24, 2023 11:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (24) දින හෝමාගම මුලස්ථාන පොලීසිය විසින්, හෝමාගම නගරයේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක ආවරණය කළ කුඩා ප්‍රමාණයේ කාමර තුළ බාලවයස්කාර දරුවන් අශෝභන ලෙස හැසිරෙන බවට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත.

 ප්‍රදේශයේ දෙමාපියන් සහ ආගමික නායකයින්,  තම දරුවන් සමග අදාළ උද්‍යානයට යාමේදී පාසල් වයසේ දරුවන් ආවරණය කළ කුඩා කාමර තුළ නොහොබිනා අයුරින් හැසිරෙන බවටත් ඒ සඳහා කඩිනමින් පියවරක් ගන්නා ලෙසටත් දැනුම්දෙමින් සිදුකළ පැමිණිල්ලක් මත හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාගත් සෝදිසි කිරීමේ නියෝගයක් අනුව එම වැටලීම සිදුකර තිබුණි.

අදාල අවස්ථාවේ දී අශෝභන ලෙස හැසිරෙමින් කාමර තුළ සිටි තරුණ ජෝඩු 24ක් පමණ පොලිස් භාරයට ගෙන ඇත. පසුව එම දරුවන් සියලුදෙනා කැඳවා කරුණු පැහැදිලි කර උපදෙස් ලබාදීමෙන් අනතුරුව අදාළ දැරියන්ගේ භාරකරුවන් වෙත දුරකථන ඇමතුම් ලබාදී මුදාහැරීමට පොලීසිය කටයුතු කර ඇත.

එම ස්ථානයේ සිටි බොහෝ දරුවන් උපකාරක පන්තිවලට සහභාගි වන බව පවසමින් එම ස්ථානයට පැමිණ ඇතැයි එහිදී අනාවරණය වුණි. වැටලීම සිදුකළ අවස්ථාවේදී එම උද්‍යානයේ හිමිකරු පැමිණ පොලිස් නිලධාරීන් සමග උණුසුම් කතාබහක් ඇති වු අතර මේ හේතුවෙන් කලබලකාරී තත්ත්වයක් ද ඇති වූ බව අප වාර්තාකරු පැවසීය.