පිටිපන කුලී යතුරුපැදි රියදුරු ඝාතනයේ ප්‍රධාන සැකකරු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
හෝමාගම, පිටිපන, ගලගාහේන ප්‍රදේශයේදී කුලී යතුරුපැදි රියදුරෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු එළැඹෙන අගෝස්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (17) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි දෙදරු පියෙකි. පසුගිය ජූලි 16 වනදා පිටිපන ගලගාහේන ප්‍රදේශයේදී සැකකරු විසින් තියුණු ආයුධයකින් මෙම කුලී යතුරුපැදි රියදුරුගේ ගෙල කපා ඝාතනය කර, මෘත ශරීරය අසල වූ ඇල මාර්ගයකට දමා පළාගොස් තිබුණි.
පොලීසිය සිදුකළ විමර්ශනවලදී මින්නේරිය ප්‍රදේශයේදී සැකකරු සහ ඝාතනයට යොදාගත් ආයුධය අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඝාතනය සඳහා අනුබලදීමේ චෝදනාව මත සැකකරුගේ පුත්‍රයා ද මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැකකරු විසින් මියගිය පුද්ගලයාගේ යතුරුපැදිය, හිස් ආවරණය සහ ජැකට්ටුව ද රැගෙන හෝමාගම නගරයේ ආපනශාලාවකට පැමිණ සිටින ආකාරය දැක්වෙන සීසීටීවී (CCTV) දර්ශන ද පොලිස් භාරයට ගෙන තිබේ.