දකුණු පිලිපීනයේ කතෝලික පාසලක ලේ වැගිරීමක්- අධි බලැති තුවක්කුවකින් සිසුවෙකුට සහ ගුරුවරයෙකුට වෙඩි තබා මරාදමයි
දකුණු පිලිපීනයේ සැම්බෝන්ගා නගරයේ කතෝලික පාසලක අඟහරුවාදා (18) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. සිද්ධියෙන් අනතුරුව තත්ත්වය පාලනය කර ඇති බව බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, මාස දෙකකට ආසන්න කාලයක් තුළ පිලිපීනයේ පාසලක සිදුවූ දෙවන වෙඩි තැබීම මෙය බව සඳහන් වේ.
වෙඩි තැබීම සිදුව ඇත්තේ ඇටෙනියෝ ද සැම්බෝන්ගා විශ්වවිද්‍යාලයට අනුබද්ධ කනිෂ්ඨ උසස් පාසලකදීය. සැම්බෝන්ගා නගරයේ නගරාධිපති කයිමර් අදාන් ඔලාසෝ පවසන පරිදි, සිද්ධියෙන් මියගිය දෙදෙනා අතර ගුරුවරයෙකු සහ ශිෂ්‍යයෙකු සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නගරාධිපතිවරයා පැවසුවේ වෙඩික්කරු අධි බලැති ගිනි අවියක් භාවිත කර ඇති බවයි. දේශීය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන උපුටා දක්වමින් ඔහු කියා සිටියේ සැකකරු පළමුව පන්ති කාමරයක මේසයක් අසල සිටි ගුරුවරයෙකුට වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවයි.
අනතුරුව සැකකරු වෙනත් කාමරයකට ගොස් එහි සිටි ශිෂ්‍යයෙකුට වෙඩි තබා ඇති බවද ඔලාසෝ සඳහන් කළේය.
සිද්ධිය අතරතුර තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවටද මූලික තොරතුරු ලැබී තිබුණද, එය නිල වශයෙන් තහවුරු කර නොමැත. විශ්වවිද්‍යාලයේ සභාපති අර්නල්ඩ් ඇන්ඩල් තහවුරු කළේ මේ වනවිට තවදුරටත් සක්‍රීය වෙඩි තැබීමක් සිදු නොවන බවයි.
“මේ වන විට මරණ දෙකක් සිදුව ඇති බව තහවුරු කර තිබෙනවා. තවදුරටත් සක්‍රීය වෙඩික්කරුවන් නැහැ,” යනුවෙන් ඔහු සඳහන් කළේය. පාසල් පරිපාලනයද නිවේදනයක් නිකුත් කරමින් සිද්ධියෙන් මරණ දෙකක් වාර්තා වී ඇති බව තහවුරු කර තිබේ. සිසුන්ගේ ආරක්ෂාව තම ප්‍රමුඛතාව බව සඳහන් කළ පාසල් බලධාරීන්, දරුවන් ආරක්ෂිතව රැගෙන යාම සඳහා දෙමාපියන් සහ භාරකරුවන් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇති බව පැවසීය.
මෙටා සමාගමට එරෙහිව ඩොලර් ට්‍රිලියනයක මහා නඩුවක් - ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙනස් කරන්න ඇමරිකානු ප්‍රාන්ත 30ක් එකතු වෙයි
ප්‍රාදේශීය පොලිස් ප්‍රකාශිකා මේජර් ෂෙලමි චැං සඳහන් කළේ පොලිස් කණ්ඩායම් පාසල් පරිශ්‍රය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවයි. කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාදීමට එම අවස්ථාවේදී ඇයට හැකියාවක් නොතිබිණි. සිද්ධියට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශනවල, තුවක්කුවක බැරලය පෙනෙන ආකාරයෙන් කොරිඩෝවක් දිගේ ගමන් කරන පුද්ගලයෙකු පන්ති කාමරයක් දෙසට වෙඩි තබන අයුරු දැක්වේ.
පාසල් නිල ඇඳුම් ඇඳ සිටි සිසුන් කිහිපදෙනෙකු කෑගසමින් එම ස්ථානයෙන් ඉවත්ව යන අයුරුද දර්ශනවල දැකගත හැකිය. සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයාගේ ෆේස්බුක් ගිණුම මේ වනවිට අක්‍රිය කර ඇති බව වාර්තා වේ.
පිලිපීනයේ පාසල් තුළ වෙඩි තැබීම් සාපේක්ෂව දුර්ලභ වුවද, පසුගිය ජුනි මාසයේදී ටැක්ලොබන් නගරයේ පොදු උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් සිසුන් තිදෙනෙකු මියගොස් තවත් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබිණි.
මේ අතර, පිලිපීනයේ ගිනි අවි හිමිකම දැඩි ලෙස නියාමනය කර තිබුණද, රට තුළ ගිනි අවි සඳහා විශාල කළු වෙළෙඳපොළක් පවතින බව සඳහන් වේ. මෙම සිද්ධිය වාර්තා වන්නේ තායිලන්තයේ බැංකොක් නගරයට ආසන්න පාසලක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් දින 10කටත් අඩු කාලයකට පසුව වීමද විශේෂත්වයකි.