වැඩි ගාස්තු නිසා ත්‍රීවිල්වලට වෙන්න යන දේ
ජංගම දුරකථන යෙදවුම් මඟින් ක්‍රියාත්මක කුලී රථ සේවා රියදුරන්ට සිදුවන අසාධාරණකම්වලට විරුද්ධව ඔවුන් අද (29) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙතට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ ඉකුත් දා ඇල්ල ප්‍රදේශයේදී එම රියදුරෙකුට එල්ල වූ තර්ජනය පාදක කරගනිමින්.
මේ වන විට ගමනාගමනයේදී මඟීන්ට නැතුව බැරි රථයක් වෙන ත්‍රිරෝද රථය පසු කාලීනව මඟීන් සූරාකන මාෆියාවක් බවට පත්ව ඇත.
එයට ප්‍රධාන හේතුව එකකට එකක් වෙනස් ලෙස අය කරන ත්‍රීවිල් ගාස්තු වේ. එවැනි පසුබිමක pickme,Uber ඇතුළු කුලී ගමන් සේවා ලොව ප්‍රසිද්ධ සන්නාම කිහිපයක් පැමිණියේ මඟීන්ට සාධාරණ ගාස්තුවකට, ආරක්ෂිත හා කාර්යක්ෂම ගමන් සේවා ලබාදෙමින් වීම විශේෂත්වයක්.
ඒ අනුව කොළඹ, මහනුවර සහ තවත් නගර රැසක මඟීන් අතර මෙම සේවා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර ජංගම දුරකථන යෙදවුම් ඔස්සේ පහසුවෙන් ලබාගත හැකිවීම වැනි කරුණු නිසා එය මඟීන් අතර ජනප්‍රිය වී ඇත.
ඉන් දැඩි බලපෑමක් එල්ලවූයේ ජනතා චෝදනාවලට ලක්වූ අසාධාරණ ත්‍රිරෝද රථ මාෆියාවයි. එබැවින් කුලී ගමන් සේවා ත්‍රිරෝද රථවලට ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් තර්ජනය කිරීම්, බිය ගැන්වීම්, පහරදීම් වැනි අනීතික ක්‍රියා සිදුකළ අවස්ථා රැසක් වාර්තා වී ඇත.
එසේම ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් පවා මින් අපහසුතාවයට පත්වුණු අවස්ථා බොහෝ වාර්තා වී ඇත.
මේ වනවිට ජංගම දුරකථන යෙදවුම් මඟින් ක්‍රියාත්මක කුලී මඟී ප්‍රවාහන සේවාවලට දිවයිනේ ප්‍රදේශ කිහිපයක ත්‍රිරෝද රථ රියදුරන් විරෝධය පළ කර සිටියි.
ඔවුන් සඳහන් කරන්නේ ඒවායේ ගාස්තු අඩුවීම හේතුවෙන් තම ජීවිනෝපායට තර්ජන එල්ල වී ඇති බවයි.
එවැනි පසුබිමක ජංගම දුරකථන යෙදවුම් මඟින් ක්‍රියාත්මක මඟී ප්‍රවාහන සේවාවල නිරත රියදුරන් පිරිසක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණ සිටියා.
මේ අතර මඟීන් තවදුරටත් පවසන්නේ තමන්ව දැඩි ලෙස සූරාකන ත්‍රිරෝද රථ මාෆියාවලට හසුවීමට අවැසි නොවන අතර ආයතනගත ප්‍රවාහන සේවා වෙතම යොමුවීමට තමන් ක්‍රියාකරන බවයි.
එසේම සාධාරණ ගාස්තුවකට කාර්යක්ෂම සේවා සපයන ආයතන වෙත මඟීන් දිනෙන් දින නැඹුරු වෙද්දී සෙසු ත්‍රිරෝද රථ රියදුරන් සිදුකළ යුත්තේ එම ත්‍රිරෝද රථවලට මඟ රැක සිට පහරදීමද, නැතිනම් ඒ හා සමාන ගුණාත්මක සේවාවක් සාධාරණ ගාස්තුවකට ලබාදී ජනතා කැමැත්ත දිනාගැනීම ද යන්න මඟීන් ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් ප්‍රශ්න කරයි.