භාණ්ඩාගාර බැඳුම්කරවලට ඉහළ ඉල්ලුමක් - භාණ්ඩාගාරයේ මුළු බැදුම්කර රුපියල් බිලියන 158ක්
ශ්‍රී ලංකාව විසින් පසුගිය සතියේ පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී තීරණය කළ සාමාන්‍ය පොලී අනුපාත යටතේ තවත් රුපියල් බිලියන 8ක බැඳුම්කර අලෙවි කර තිබේ.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ දත්ත අනුව, මෙම අමතර අලෙවියත් සමඟ සතිය තුළ අලෙවි කර ඇති භාණ්ඩාගාර බැඳුම්කරවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 158ක් දක්වා ඉහළ ගොස් ඇත.
අදාළ නිකුතුව යටතේ රුපියල් බිලියන 150ක බැඳුම්කර ලබාදීමට නියමිතව තිබූ අතර, ඔක්තෝබර් 15, 2034 කල් පිරෙන බැඳුම්කර සඳහා බරිත සාමාන්‍ය ඵලදා අනුපාතය සියයට 11.96ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම, 2037 ජූලි 1 වැනිදා කල් පිරෙන තවත් බැඳුම්කර කාණ්ඩයක් සියයට 12.08ක බරිත සාමාන්‍ය ඵලදා අනුපාතයක් යටතේ අලෙවි කර ඇත.
මෙම අමතර නිකුතුව සඳහා වෙළෙඳපොළෙන් ලැබුණු සමස්ත ඉල්ලුම රුපියල් මිලියන 15,402ක් බවද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සඳහන් කරයි. මීට පෙර පසුගිය සිකුරාදා පැවති වෙන්දේසියේදී 2030, 2034 සහ 2037 වසරවලදී කල් පිරෙන බැඳුම්කර සඳහා රුපියල් බිලියන 150ක අලෙවියක් සිදුකර තිබිණි.