සායි පල්ලවි රන්බීර් කපූර් රඟන ‘රාමායණ’ සිනමාපටයේ පළමු ගීතය නිකුත් වෙයි - ''ප්‍රේක්ෂකයන්ට ආධ්‍යාත්මික හැඟීමක් දැනෙනවාලු” [VIDEO]
නිතේෂ් තිවාරිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන බොලිවුඩ් චිත්‍රපටයක් වන රාමායණ හි පළමු ගීතය වන Jai Jai Ram මේ වනවිට අන්තර්ජාලය පුරා රසිකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
චිත්‍රපටයේ රාම දෙවියන්ගේ චරිතයට රන්බීර් කපූර්ද, සීතා දේවියගේ චරිතයට සායි පල්ලවීද පෙනී සිටින අතර, නව ගීත වීඩියෝව තුළ රාම සහ සීතාගේ විවාහ මංගල්‍යයට අදාළ දර්ශන කිහිපයක්ද ඇතුළත් කර තිබේ.
එමෙන්ම රාමගේ වීරත්වය සහ සටන් හැකියාවන් නිරූපණය කරන දර්ශන මෙන්ම, අයෝධ්‍යාවේ ජනතාව මල් ඉසිමින් පිළිගන්නා අතරතුර රාම සහ සීතා රථයකින් ගමන් කරන දර්ශනද ගීත වීඩියෝවට එක්කර ඇත. ‘Jai Siya Ram’ නම් ජනප්‍රිය භක්ති ගීතයේ නව අර්ථකථනයක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම ගීතය ගායනා කර ඇත්තේ අරිජිත් සිං සහ ශ්‍රේයා ගෝෂාල් විසිනි.
ප්‍රවීණ කවියෙකු වන ආචාර්ය කුමාර් විශ්වාස් විසින් රචනා කර ඇති ගීතයේ සංගීත නිර්මාණය සිදුකර ඇත්තේ ඒ.ආර්. රහ්මාන් විසිනි. ගීතය නිකුත් වීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ රසිකයන්ගෙන් ඊට ඉහළ ප්‍රතිචාර හිමිව ඇති අතර, එහි සංගීතය, ගායනය සහ ආධ්‍යාත්මික හැඟීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.
ගීතය පිළිබඳ අදහස් දක්වමින් ඇතැම් රසිකයන් එය තමන්ගේ “කන් පිනවූ” සහ “ආත්මය සුවපත් කළ” අත්දැකීමක් ලෙස විස්තර කර ඇති අතර, තවත් පිරිසක් අරිජිත් සිං සහ ශ්‍රේයා ගෝෂාල්ගේ ගායනය ගීතයට විශේෂ ආකර්ෂණයක් එක්කර ඇති බව පවසා තිබේ.
තවත් රසිකයන් පෙන්වා දී ඇත්තේ ගීතයේ මෘදු හා භක්තිමත් ස්වභාවය ක්‍රමයෙන් ශ්‍රාවකයා ආකර්ෂණය කරගන්නා බවත්, නැවත නැවතත් සවන් දෙන විට එහි රසය තවදුරටත් වැඩිවන බවත්ය.