හූති කැරලිකරුවන් සෞදි අරාබියට නැවත ප්‍රහාර එල්ල කරයි - මැදපෙරදිග තත්ත්වය උණුසුම් වෙයි

By Kanchana Sep 15, 2026 05:19 AM GMT
Report

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ තෙල් නෞකාවක් බිම් බෝම්බයක ගැටුණු බවට ඉරානයෙන් ප්‍රකාශයක් හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදු බිම් බෝම්බයක ගැටී පුපුරා ගිය බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සඳුදා රාත්‍රියේ ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ඇමරිකානු හමුදාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබේ. IRGC ප්‍රකාශ උපුටා දක්වමින් ඉරාන රාජ්‍ය විකාශක IRIB වාර්තා කළේ, ‘එල් ගයියා’ (El Gaia) නමැති පැනමා ධජය යටතේ යාත්‍රා කරන තෙල් නෞකාව, ඉරානය විසින් මුහුදු බිම් බෝම්බ අතුරා ඇති බව කියන සමුද්‍ර සන්ධියේ දකුණු මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි.

බිම් බෝම්බය පුපුරා යාමෙන් පසු නෞකාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ බවද IRIB වාර්තා කළේය. එහෙත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය (CENTCOM) එම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, ‘එල් ගයියා’ නෞකාව පසුගිය මාසයේදී ඉරාන මිසයිල ප්‍රහාරයකට ලක්ව අක්‍රිය තත්ත්වයට පත්ව තිබූ බවයි.

අර්චුනාගේ ප්‍රකාශයෙන් දේශපාලන පිටිය ගිනිගනී - නීතිමය පියවර ගැනීමට සූදානම්

අර්චුනාගේ ප්‍රකාශයෙන් දේශපාලන පිටිය ගිනිගනී - නීතිමය පියවර ගැනීමට සූදානම්

CENTCOM අනුව, මෙම සති අන්තයේ ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයක නවතා තිබූ නෞකාවට ඉරානය ඩ්‍රෝන ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.

මේ වන විට කලාපීය හවුල්කාර රටක් විසින් එම නෞකාව ඇදගෙන යමින් පවතින බවද CENTCOM සඳහන් කළේය. මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවත් එය තම පාලනය යටතේ පවතින බවත් IRGC නාවික අංශය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

දකුණු මුහුදු මාර්ගය භාවිත නොකරන ලෙස ඉරානය මීට පෙරද අනතුරු අඟවා තිබූ අතර, එම මාර්ගයේ බිම් බෝම්බ අතුරා ඇති බවටද ප්‍රකාශ කර තිබේ.

ඉරාන වෙරළ තීරය ආසන්නයෙන් දිවෙන උතුරු මාර්ගය පමණක් ආරක්ෂිත බව ප්‍රකාශ කරමින් එම මාර්ගය භාවිත කරන නෞකාවලින් ගාස්තු අය කිරීමටද ඉරානය කටයුතු කරන බව වාර්තා වේ.

ලෝක තෙල් සැපයුමට බලපෑම් ඉරානය සහ ඇමරිකාව අතර පවතින ගැටුම හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය මේ වන විට ප්‍රධාන උණුසුම් කලාපයක් බවට පත්ව තිබේ. ගැටුම උත්සන්න වීමට පෙර ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරුණු අතර, ගල්ෆ් කලාපීය රටවල ද්‍රව ස්වභාවික වායු සහ පොහොර අපනයනය සඳහාද මෙම මාර්ගය අතිශය වැදගත් වේ.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සඳුදා පැවැත්වීමට නියමිතව තිබූ ගල්ෆ් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක්ද අවසන් මොහොතේ අවලංගු කර තිබේ.

යේමනයේ හූති ප්‍රහාරවලින් තත්ත්වය තවත් උග්‍ර වෙයි මේ අතර, යේමනයේ ක්‍රියාත්මක ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් සඳුදා සෞදි අරාබියට නව ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරයත් සමඟ මැද පෙරදිග ගැටුම තවදුරටත් ව්‍යාප්ත වී ගෝලීය තෙල් සැපයුමට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවට කනස්සල්ල මතුව ඇත.

සිකුරාදා දකුණු සෞදි අරාබියේ ඛමිස් මුෂයිට් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් සෞදි අරාබිය යේමනයේ ගුවන් ප්‍රහාර සිදු කර ඇති බව වාර්තා වේ. එම ප්‍රහාරය සඳහා ඉරානයේ සහාය ලබන ඉරාක සටන්කාමීන් වගකිව යුතු බව රියාද් පාලනය චෝදනා කර තිබේ.

සිකුරාදා එල්ල වූ ප්‍රහාරයෙන් සෞදි අරාබියේ නැගෙනහිර-බටහිර තෙල් නල මාර්ගය අක්‍රිය වූ බවද වාර්තා වේ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කරන තෙල් ප්‍රවාහනයට බාධා ඇති වුවහොත්, එම නල මාර්ගය හරහා ගල්ෆ් කලාපයේ තෙල් අපනයනය කිරීමේ හැකියාව පවතී.

මේ අතර, හූති කැරලිකරුවන් යේමනයේ වේගයෙන් ඉදිරියට යමින් සිටින අතර, සිකුරාදා රතු මුහුදේ පිවිසුම ආසන්නයේ පිහිටි පෙරිම් දූපත ඇතුළු ප්‍රදේශ කිහිපයක් අත්පත් කරගෙන තිබේ. මෙම තත්ත්වය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටද නව අභියෝගයක් මතු කර තිබේ.

හූතිවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල් වොෂින්ටනයට බලපෑම් කළද, නව ප්‍රධාන යුද පෙරමුණක් විවෘත කිරීමෙන් වැළකී සිටීමට ට්‍රම්ප් උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.

2015 වසරේ සිට හූතිවරුන්ට එරෙහිව සටන් කරන සන්ධානයකට සෞදි අරාබිය නායකත්වය දී තිබුණද, මෑත වසරවලදී සටන් විරාමයක් හේතුවෙන් ගැටුම බොහෝ දුරට සමනය වී තිබිණි. කෙසේ වෙතත්, ජාත්‍යන්තරව පිළිගත් යේමන රජයට සහාය දක්වන හමුදා පසුපසට තල්ලු කරමින් හූතිවරුන් ඉදිරියට යාමත් සමඟ මෙම මාසයේදී නැවතත් සටන් ආරම්භ වී තිබේ.

බුද්ධි අංශ සහායට අමතරව සෘජු හමුදා මැදිහත්වීමක් සිදු කරන ලෙස සෞදි අරාබිය කළ ඉල්ලීම් ඇමරිකාව මේ දක්වා ප්‍රතික්ෂේප කර ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ට්‍රම්ප් සති අන්තයේදී ප්‍රකාශ කර තිබුණේ සෞදි ඔටුන්න හිමි කුමරු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ගැටුමෙන් ඉවත්ව සිටින ලෙස හූතිවරුන්ද ඇමරිකාව සමඟ සම්බන්ධ වී ඇති බවත්ය.

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ තෙල් නෞකාවක ගින්නක්

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ තෙල් නෞකාවක ගින්නක්

සෞදි රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සඳුදා ජෙඩා නුවරදී එක්සත් ජනපද කලාපීය අණදෙන නිලධාරී අද්මිරාල් බ්‍රැඩ් කූපර් හමුවූ බවයි.

යේමනයේ දස දහස් ගණනක් අවතැන් මේ අතර, යේමනයේ නැවත උත්සන්න වී ඇති සටන් හේතුවෙන් මෙම මාසය ආරම්භයේ සිට මේ දක්වා පුද්ගලයන් 82,000කට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බව සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) ඇස්තමේන්තු කර තිබේ.

පසුගිය සතියේ හූතිවරුන් රතු මුහුද ආසන්නයේ පිහිටි ඓතිහාසික වරාය නගරයක් වන මොචා ඇතුළු නගර කිහිපයකට ඇතුළු වී තිබිණි. නිරිතදිග යේමනයේ ටයිස් නගරය ආසන්නයේ රජයේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක ජීවත් වන අයිෂා මුහම්මද් නමැති වැඩිහිටි කාන්තාවක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, ගැටුම් හේතුවෙන් පලා යාමට නොහැකි වූ තම දියණියන් දෙදෙනා සහ පුතුන් තිදෙනා අතහැර දමා පැමිණීමට සිදුවීම පිළිබඳව දැඩි වේදනාවකට පත්ව සිටින බවයි