බදුල්ල-මහියංගන පාරේ ත්‍රීවීල්, බයික් සහ බස් එකක් හැපෙයි - අවුරුදු 4ක දැරියක් ඇතුළු 5ක් රෝහලට

Report

පෞද්ගලික බස් රථයක්, යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දැරියක් ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අනතුර අද (15) උදෑසන 7.00ට පමණ බදුල්ල–මහියංගන ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල, 16 කණුව හන්දිය ආසන්නයේදී සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු, ත්‍රිරෝද රථය පැදවූ කාන්තාව, එහි ගමන් කළ අවුරුදු හතරහමාරක් පමණ වයසැති දැරියක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.

තුවාලකරුවන් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ. අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.