අඩු පීඩන කලාපය ලංකාවෙන් පිට වී නැහැ - ඉදිරි තත්ත්වය පිළිබඳව කාලගුණයෙන් දැනුම්දීමක්
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථායීව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (14) පස්වරු 2.00ට නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව මෙම කාලගුණ පද්ධතිය ඉදිරි පැය 48 ඇතුළත ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත් හෙට (15) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මීට අමතරව ඌව පළාතේ ඇතැම් ස්ථානවලට හෙට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් එමගින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.