ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් හදිසි නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 36 තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද වාර්තා වේ.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30–40 පමණ තරමක තද සුළං හමිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.