වන්දනාකරුවෙකු ලෙස ඉන්දියාවට ආව – ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සුපිරි තරුව

By Malith Madushan Jun 28, 2026 10:09 AM GMT
Report

 Fast & Furious චිත්‍රපට මාලාවේ ජනප්‍රිය හොලිවුඩ් නළු හා ගායක ටයිරීස් ගිබ්සන් (Tyrese Gibson) සිය ඉන්දියානු සංචාරය “ජීවිතය වෙනස් කළ ආධ්‍යාත්මික අත්දැකීමක්” ලෙස හඳුන්වා දී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, තමන් ඉන්දියාවට පැමිණියේ සංචාරකයෙකු ලෙස නොව, අභ්‍යන්තර සන්සුන්භාවය සහ ආත්මීය වර්ධනය සොයා යන වන්දනාකරුවෙකු ලෙස බවයි.

[1YBL9MX}

මුම්බායි නගරයේ පිහිටි හින්දු දේවාලයකට ගිය අවස්ථාවේ ලබාගත් ඡායාරූප සහ වීඩියෝ ද ඔහු සමාජ මාධ්‍යයට එක් කර තිබූ අතර, එහිදී ශිවලිංගයට කිරි පූජා කිරීම සහ ආරති පූජාවට සහභාගි වන අයුරු දක්නට ලැබේ.

1959 වසරේ ආචාර්ය මාර්ටින් ලූතර් කිං ජූනියර් ඉන්දියාවට පැමිණි සංචාරය සිහිපත් කළ ගිබ්සන්, මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදී දර්ශනය ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයට දැඩි බලපෑමක් කළ බවද සඳහන් කළේය. “යේසුස් වහන්සේ ආදරයේ ආත්මය මට පෙන්වා දුන්නා.

නමුත් එය ක්‍රියාවට නංවන මාර්ගය ගාන්ධි මට ඉගැන්වූවා,” යනුවෙන් ආචාර්ය මාර්ටින් ලූතර් කිං ජූනියර් කළ ප්‍රකාශයක්ද ඔහු සිය සටහනේ උපුටා දක්වා තිබුණි. භාවනාව (Meditation) ඉගෙන ගැනීම, සිත සන්සුන් කර ගැනීම සහ මානසික සෞඛ්‍යය වර්ධනය කර ගැනීම තම සංචාරයේ ප්‍රධාන අරමුණ බවද ගිබ්සන් සඳහන් කළේය.

“මට සෑම විටම භාවනාව ඉගෙන ගැනීමට අවශ්‍ය වුණා. එය කනස්සල්ල සහ අධික සිතුවිලි පාලනය කරමින් මනස, ශරීරය සහ ආත්මයට සැබෑ සන්සුන්භාවයක් ලබා දෙන ජීවිත කාලය පුරාම සිදුකරන ගමනක්,” යැයි ඔහු පැවසීය.

තමන්ට ආදරයෙන් සත්කාර කළ “AMA” වෙත ද විශේෂ ස්තූතිය පුද කළ ගිබ්සන්, මෙම අත්දැකීම සැබෑ ලෙසම තම ජීවිතය වෙනස් කළ එකක් බවද සඳහන් කළේය.

එමෙන්ම සත්ත්ව ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන සේවය වෙනුවෙන් අදාළ පුද්ගලයා අනාගතයේ නොබෙල් සාම ත්‍යාගය පවා දිනාගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම සංචාරය තවත් විශේෂත්වයක් වන්නේ, ඔහු සිය ළමා කාලයේ සිටම සමීප මිතුරෙකු වූ කෙන්යාටා (Kenyatta) සමඟ ඉන්දියාවට පැමිණ තිබීමයි.

ළමා වියේ දුෂ්කර අවස්ථාවලදී තමන්ට ආහාර, ආරක්ෂාව සහ රැකවරණය ලබාදුන් මිතුරාට සිය කෘතඥතාව පළ කරමින්, “ජීවිතයේ අප සමඟ සිටි අයගේ ණය ගෙවන්න උත්සාහ කිරීම තමයි සැබෑ කෘතඥතාව,” යනුවෙන්ද ඔහු ලියා තිබේ.

සිය ඉන්දීය සංචාරය තවදුරටත් විශාල පෞද්ගලික සහ නිර්මාණාත්මක ගමනක ආරම්භයක් බව සඳහන් කළ ගිබ්සන්, “තවත් විශේෂ දේ ඉදිරියේදී හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා,” යනුවෙන්ද සිය සටහන අවසන් කර තිබුණි.

මේ අතර, ටයිරීස් ගිබ්සන් ඉදිරියේදී Fast X: Part 2 (Fast Forever) චිත්‍රපටයේ රෝමන් පියර්ස් (Roman Pearce) චරිතය යළිත් නිරූපණය කිරීමට නියමිත අතර, එය Fast & Furious ප්‍රධාන චිත්‍රපට මාලාවේ අවසන් කොටස ලෙස සැලකේ.

[TJBB0JV}