තෙලිප්පලෙයි රෝහල සංවර්ධනයට විශේෂ අවධානය - අමාත්‍යවරුන් හදිසි නිරීක්ෂණ චාරිකාවක
ජනතාවට ගුණාත්මක, සමානාත්මතාවයෙන් යුත් සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය සියලු සහාය රජය විසින් ලබාදෙන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ එක්ව තෙලිප්පලෙයි මූලික රෝහලේ නිල නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී, වර්තමානයේ උතුරු පළාත් සභාවේ පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන තෙලිප්පලෙයි මූලික රෝහල මධ්‍යම රජයේ පරිපාලනය යටතට පත් කිරීමේ හැකියාව පිළිබඳවද පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි.
රෝහලේ සේවා තත්ත්වය ඉහළ නැංවීම, පරිපාලන හා සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීම සහ රෝගී ප්‍රතිකාර සේවා පුළුල් කිරීම පිළිබඳ කරුණු මෙහිදී අවධානයට ලක් විය.
එමෙන්ම රෝහලේ කාර්ය මණ්ඩල හිඟය, විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩල අවශ්‍යතා, වෛද්‍ය උපකරණ හිඟය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සෞඛ්‍ය සේවක ගැටලු පිළිබඳවද දීර්ඝව සාකච්ඡා කෙරිණි.
අමාත්‍යවරුන් රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය සේවකයන් සහ පරිපාලන නිලධාරීන් සමඟ සෘජුව සාකච්ඡා කරමින් ඔවුන්ගේ අභියෝග සහ අවශ්‍යතා පිළිබඳ අදහස් විමසා බැලූහ. අනතුරුව රෝහලේ වාට්ටු නිරීක්ෂණය කරමින් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසා බැලූ අතර, සේවා ක්‍රියාත්මක වන ආකාරයද නිරීක්ෂණය කෙරිණි.
මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය එස්. ශ්‍රීභවානන්දරාජා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් ශාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ, තෙලිප්පලෙයි මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඒ. දේවනායගම්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති ඇතුළු වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය සහ රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය අති සාර්ථකව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, රෝහලේ සංවර්ධන වැඩසටහන් පිළිබඳව පුළුල් සමාලෝචනයක් සිදු කළ බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙසේය. "දැනට ඉදිකරමින් පවතින තෙමහල් ගොඩනැගිල්ලේ වැඩ ලබන වසර තුළ අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
රෝහලේ සංවර්ධනය සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් ලැබී තිබෙනවා.විශේෂයෙන්ම පිළිකා ප්‍රතිකාර ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී තිබෙනවා. වර්තමාන පරිපාලන ව්‍යුහය වහාම වෙනස් නොකර පවත්වාගෙන යාම අපගේ ස්ථාවරයයි.
එමෙන්ම, එම යෝජනා අනුව පිළිකා ප්‍රතිකාර ඒකකය විශේෂ ඒකකයක් ලෙස මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත් කිරීම සහ අනාගතයේදී සමස්ත රෝහලම මධ්‍යම රජය යටතට පත් කිරීමේ හැකියාව පිළිබඳවද සලකා බලනවා.
දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මගින් රෝහල මධ්‍යම රජයට පත් කිරීමේ යෝජනාවක් සම්මත කර තිබුණද, සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගෙන පමණක් අවසන් තීරණය ගන්නා බවයි. ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කර නිර්දේශ ලබාගැනීම සුදුසු පියවරක් වනු ඇත." යනුවෙන් ඔහු සඳහන් කළේය.
අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සඳහන් කළේ, තෙලිප්පලෙයි මූලික රෝහල උතුරු ජනතාවගේ සෞඛ්‍ය සේවාව සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.ඔහු වැඩිදුරටත් සඳහන් කළේ: "රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය සහ සෞඛ්‍ය සේවකයන් සම්පත් හිඟය මධ්‍යයේ වුවද කැපවීමෙන් සේවය කරනවා. ඔවුන්ගේ අවශ්‍යතා සහ ගැටලු සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර තිබෙනවා.ඒවාට අදියරෙන් අදියර විසඳුම් ලබාදීමට කටයුතු කරනවා. සමහරු මෙම රෝහල දේශපාලන වාසි සඳහා භාවිතා කිරීමට උත්සාහ කරනවා. සෞඛ්‍ය සේවාව දේශපාලන වේදිකාවක් නොව ජන ජීවිත රැකගන්නා අත්‍යවශ්‍ය සේවාවක්. ඒ නිසා සියලු දෙනා එක්ව රෝහලේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. රජය ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමට අඛණ්ඩව කැපවී සිටිනවා." යනුවෙන් පැවසීය.