ඩෙංගු දුම් ගැසීම පරිසර විනාශයක්ද? මී මැස්සන්, බත්කූරන් වඳවීමේ තර්ජනයක්

Report

ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා සිදුකරන දූමායන ක්‍රියාවලිය ඩෙංගු පාලනයට ප්‍රමාණවත් හෝ සාර්ථක විසඳුමක් නොවන අතර, එමගින් පරිසරයටද සැලකිය යුතු හානියක් සිදුවන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹදී අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ, ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යන අවස්ථාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මගින් දූමායන කටයුතු සිදු කළද, එය ඩෙංගු මර්ධනය සඳහා ඇති එකම හෝ ප්‍රධාන විසඳුම නොවන බවයි.

ඔහු පෙන්වා දුන්නේ මදුරුවෙකුගේ ජීවන චක්‍රය බිත්තර, කීටයා, පිළවා සහ වැඩුණු මදුරුවා යන අවස්ථා හතරකින් සමන්විත වන අතර, දූමායනය මගින් විනාශ වන්නේ වැඩුණු මදුරුවන් පමණක් බවය.

එබැවින් මදුරුවන්ගේ ප්‍රජනනය වැළැක්වීම සඳහා බෝවන ස්ථාන විනාශ කිරීම වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගයක් බවද ඔහු අවධාරණය කළේය.

යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට- හේතුව මෙන්න

යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට- හේතුව මෙන්න

තවද, එක් වටයක දූමායන කටයුතු සඳහා රුපියල් 20,000කට අධික මුදලක් වැය වන අතර, භාවිත කරන කෘමිනාශක හේතුවෙන් මදුරුවන්ට අමතරව පරිසරයට හිතකර මී මැස්සන්, බත්කූරන් ඇතුළු පරාගනයට දායක වන කෘමීන් ද විනාශ වීමෙන් පරිසරයට දැඩි බලපෑමක් එල්ල වන බව නජිත් සුමනසේන මහතා සඳහන් කළේය.

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමත් සමඟම, ඒ ඒ ඩෙංගු රෝගියා වාර්තා වෙන ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය මෙහෙයවීමෙන් ධූමායනය කටයුතු සිදු කරනවා. ඉතින් ජනතාව බොහෝ විට අපේක්ෂා කරනවා මේ ධූමායනය සිදුකිරීම ඩෙංගු රෝග මර්ධනයට තියෙන එකම විසඳුම කියලා. අපි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් විදිහට කියන්න කැමතියි, ධූමායනයෙන් මැරෙන්නේ වැඩුනු මදුරුවා පමණයි. මදුරුවාගේ අවස්ථා හතරක් තියෙනවා. බිත්තර, කීටයා, පිළවා, වැඩුනු මදුරුවා. මෙයින් වැඩුනු මදුරුවා විතරයි ධූමායනයේදී මිය යන්නේ. එක වටයක් ධූමායනය කිරීම සඳහා රුපියල් විසිදහසකට අධික මුදලක් වැය වෙනවා. ධූමායනය කිරීමේ තියෙන තවත් ගැටලුවක් තමයි, මදුරුවා පමණක් නෙමෙයි මැරෙන්නේ.. බත්කූරෝ, මී මැස්සෝ ඒ වගේ ඵලදාව සහ පරාගනය සිදු කරන අපේ හිතවත් කෘමීන් මේ නිසා බොහෝ විට මිය යනවා. ඒක හින්දා පරිසරයට විශාල හානියක් සිද්ධ වෙනවා ධූමායනයෙන්. ඒ නිසා ධූමායනය සිදු කරන්නේ විද්‍යානුකූලව අත්‍යවශ්‍ය හේතු මත පමණයි." "ධූමායනය සඳහා තියෙන ඉඩකඩ ඒ වගේම ධූමායනය සඳහා කටයුතු කිරීම නිසා පරිසරය හානිය මෙන්ම තමන්ගේ ජීවිතවලටත් යම් යම් කෘමිනාශකවල බලපෑමක් ඇතිවෙන්න පුළුවන් තියෙන රෝගී තත්ත්වයන් අනුව. ඒ නිසා අපි විද්‍යානුකූලව ජනතාව දැනුවත් කරලා අත්‍යවශ්‍ය ස්ථානවල පමණයි ධූමායනය කරන්නේ.

සමහර ධූමායනය කිරීම් සඳහා දිගින් දිගටම කෘමිනාශක යෙදීමෙන් කෘමිනාශක ප්‍රතිරෝධ දක්වන ස්වභාවයක් ඇතිවෙනවා. ඒ නිසා දිගින් දිගටම කෘමිනාශක යෙදීමත් සුදුසු නොවෙයි. අපි දන්නවා මැලේරියා මර්ධනයේදී ඩීඩීටී කෘමිනාශකය යෙදුවා ප්‍රථමයෙන්. ඊට පස්සේ මැලතියන්, ඊට පස්සේ සෝල්ෆැක්, අයිකොන්, මේ විදිහට කෘමිනාශක වෙනස් කරන්න සිද්ධ වුණා ප්‍රතිරෝධය නිසා. ඒ නිසා මේ මදුරුවන් මර්ධනය කිරීමේදී කෘමිනාශක ප්‍රතිරෝධය ඇතිවෙන නිසා නිරන්තරයෙන් මේ කෘමිනාශක භාවිතය සුදුසු නොවන බව අපි කියන්න කැමතියි." මේ අතර ඩෙංගු රෝගය වැළදීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 31 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කළේ ඊයේ දිනය වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 52,068 දෙනෙකු හදුනා ගෙන ඇති බවය.