මෙසී යළිත් ඉතිහාසය ලියයි – අඛණ්ඩ තරග 7කදී ගෝල රැස් කරයි
ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී ලෝක කුසලාන පාපන්දු තරග අඛණ්ඩව හතකදී ගෝල රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස අද (28) නව ඉතිහාසයක් සනිටුහන් කළේය.
ඒ, ජෝර්දානයට එරෙහි තරගයේ 80 වැනි මිනිත්තුවේදී මීටර් 25ක පමණ දුරකින් එල්ල කළ නිදහස් පහරක් ගෝලයක් බවට පත් කිරීමත් සමඟය.
මෙම දක්ෂතාවයත් සමඟ 1958 ලෝක කුසලානයේදී ප්‍රංශයේ ජස්ට් ෆොන්ටේන් සහ 1970 ලෝක කුසලානයේදී බ්‍රසීලයේ ජයිර්සින්හෝ තැබූ අඛණ්ඩ තරග හයක ගෝල වාර්තාව මෙසී විසින් අභිබවා ගියේය.
ඔහුගේ මෙම ගෝල දඩයම ආරම්භ වූයේ 2022 කටාර් ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයෙනි. ඉන් අනතුරුව නෙදර්ලන්තය සහ ක්‍රොඒෂියාවට එරෙහිවද ගෝල වාර්තා කළ අතර, ප්‍රංශය සමඟ පැවති අවසන් මහා තරගයේදී ගෝල දෙකක් රැස් කළේය.
මෙවර තරගාවලියේ ඇල්ජීරියාවට එරෙහිව ගෝල ත්‍රිත්වයක් සහ ඔස්ට්‍රියාවට එරෙහිව තවත් ගෝල දෙකක් වාර්තා කළ මෙසී, ජෝර්දානයට එරෙහිව ලබාගත් ගෝලයත් සමඟ ලෝක කුසලාන තරගවල ඔහුගේ සමස්ත ගෝල සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම තරගය ගෝල 3-1ක් ලෙස ජයගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් විය.