කළුබෝවිල රෝහලේ අතිනවීන රෝගී සත්කාරක පහසුකම් ජනතා අයිතියට පත්වන දිනය මෙන්න

By Kanchana Jun 28, 2026 10:34 AM GMT
Report

දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) තුළ අලුතින් ස්ථාපිත කළ හෘද කැතීටරීකරණ රසායනාගාරය (Cath Lab) ඇතුළු අතිනවීන රෝග විනිශ්චය හා ප්‍රතිකාර ඒකක කිහිපයක් ලබන 30 වැනිදා නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවේදී, හෘද කැතීටරීකරණ රසායනාගාරයට අමතරව ඩිජිටල් අඩු කිරීමේ ඇන්ජියෝග්‍රැෆි (DSA) ඒකකය සහ වකුගඩු හා මුත්‍රාශ්‍රිත ගල් කුඩු කිරීම සඳහා භාවිත කරන ලිතොට්‍රිප්සි (Lithotripsy) ඒකකයද ජනතා සේවයට එක් කෙරෙන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය මහත්මිය සඳහන් කළාය.

මෙරට හෘද රෝග ප්‍රතිකාර සේවාව ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ මෙම සතිය තුළ රජයේ රෝහල් පද්ධතියට නවීන හෘද කැත් රසායනාගාර (Cath Lab) හතරක් එක් කිරීමට සැලසුම් කර තිබේ.

ඩෙංගු දුම් ගැසීම පරිසර විනාශයක්ද? මී මැස්සන්, බත්කූරන් වඳවීමේ තර්ජනයක්

ඩෙංගු දුම් ගැසීම පරිසර විනාශයක්ද? මී මැස්සන්, බත්කූරන් වඳවීමේ තර්ජනයක්

ඒ අනුව පසුගිය 27 වැනිදා යාපනය ශික්ෂණ රෝහලේ නව කැත් රසායනාගාරය ජනතා අයිතියට පත් කළ අතර, කළුබෝවිල රෝහලට අමතරව කොළඹ ජාතික රෝහලේ තවත් කැත් රසායනාගාර දෙකක්ද මෙම සතියේ සේවයට එක් කිරීමට නියමිතය. මෙම නව පද්ධති කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන (Real-time) රූපකරණ තාක්ෂණයෙන් සමන්විත වන අතර, ෆ්ලුරොස්කොපි පරීක්ෂණවලදී විකිරණ නිරාවරණය සැලකිය යුතු ලෙස අවම කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් රූප ලබා ගැනීමට හැකියාව සලසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම නව රෝග විනිශ්චය හා ප්‍රතිකාර ඒකක ස්ථාපිත කිරීමත් සමඟ රෝගීන්ගේ පොරොත්තු කාලය අවම කරමින්, වඩාත් වේගවත්, නිවැරදි සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට හැකි වනු ඇති බවයි.