යුරෝපයම හොල්ලමින් ප්‍රංශයෙන් මරණ 1,000ක් - ඉතිහාසගත දරුණුතම විපත්තිය මෙන්න
යුරෝපය පුරා පැතිර යන ඉතිහාසගත උණුසුම් තත්වය හේතුවෙන් ප්‍රංශයේ පමණක් මරණ 1,000ක් වාර්තා වී ඇති බව ප්‍රංශ මහජන සෞඛ්‍ය ඒජන්සිය (Sante Publique) ඉරිදා දිනයේදී ප්‍රකාශ කළේය. එම සංඛ්‍යාව සැබෑ තත්ත්වය තවදුරටත් වැඩි විය හැකි බවද ඔවුන් අනතුරු ඇඟවීය.
ආරම්භක වාර්තා අනුව මෙම මරණ බහුතරයක් වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින් අතර සිදුව ඇති අතර, සත්කාරක මධ්‍යස්ථාන හා නිවාසවල සිදුවූ මරණ සම්බන්ධ දත්ත ලැබෙන තත්ත්වය අනුව සමස්ත සංඛ්‍යාව ඉහළ යා හැකි බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ජූනි 20 වැනිදා ආරම්භ වූ මෙම දැඩි උණුසුම් තත්ත්වය යුරෝපයේ මෙතෙක් වාර්තා වූ දරුණුතම තාප තරංගය ලෙස විද්‍යාඥයන් විසින් සඳහන් කර ඇති අතර, එය කාලගුණික වාර්තා බිඳ දමමින්, විදුලි සැපයුමට බාධා ඇති කරමින් සහ යටිතල පහසුකම්වලටද හානි සිදු කර ඇත.
ප්‍රංශ කාලගුණ ඒජන්සිය පවසන්නේ මේ වන විට රටේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය අඩුවී ඇති නමුත්, උතුරු-නැගෙනහිර ප්‍රදේශ කිහිපයක තවදුරටත් තාප අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි.
සෞඛ්‍ය අමාත්‍ය ස්ටෙෆනි රිස්ට් පවසන්නේ තාප තරංගයේ බලපෑම් කාලගුණය සාමාන්‍ය වීමෙන් පසු දින 10ක් දක්වාත් පැවතිය හැකි බවයි.“මෙම තත්ත්වය තවම අවසන් වී නැත,” යනුවෙන් ඇය මාධ්‍ය වෙත සඳහන් කළාය.
සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම උණුසුම් තත්ත්වය සියලු වයස් කාණ්ඩවලට බලපා ඇති නමුත්, මරණවල බහුතරය වයස 65ට වැඩි පුද්ගලයින් අතර සිදුව ඇති බවයි.