අධික වැසි මැද මධ්‍යම කඳුකරයට භූ චලන අවදානමක් - විශේෂඥයෙකුගෙන් අනතුරු ඇඟවීමක්
දිවයිනේ පවතින අධික වර්ෂාපතනයත් සමඟ මධ්‍යම කඳුකරයේ භූචලන ඇතිවීමේ අවදානමක් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අධික වර්ෂාවෙන් පසුව ජලාශ ජලයෙන් පිරී යාමත් සමඟ එම ජලාශවලට පහළින් පිහිටි පාෂාණ ස්ථර මත ඇති වන පීඩනය හේතුවෙන් සුළු භූ චලන ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
එම ක්‍රියාවලිය හේතුවෙන් පාෂාණ ස්ථරවල පවතින පැලුම් තලවල සුළු චලනයන් සිදුවිය හැකි අතර, ඒ ආශ්‍රිතව භූ කම්පන ඇතිවීමේ හැකියාවක් පවතින බවද ඔහු සඳහන් කළේය.
පසුගිය වසර 5ත් 6ත් අතර කාලය තුළ මධ්‍යම කඳුකරයෙන් මෙවැනි භූ කම්පන වාර්තා වී ඇති බවත්, ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවත් මහාචාර්යවරයා පැවසීය.
දියවැඩියා සහ හෘද රෝගීන්ට සුබ ආරංචියක් - ඉන්සියුලින් එන්නත් සහ හෘද රෝග එන්නත් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
එමෙන්ම, මෙරට භූ කම්පන නිරීක්ෂණය කිරීම සඳහා මීට පෙර පැවති කම්පන මාන හතරක සංඛ්‍යාව මේ වන විට 13ත් 14ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ නංවා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, ඉන්දියානු සාගරයේ මොරිෂස් කලාපය ආසන්නයේ ඊයේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය සම්බන්ධයෙන් ද මහාචාර්ය අතුළ සේනාරත්න මහතා අදහස් පළ කළේය.
ඔහු පෙන්වා දෙන්නේ එම භූ කම්පනය සිදුව ඇත්තේ ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු භූ තැටිවල බටහිර මායිමට ආසන්නව ශ්‍රී ලංකාවෙන් බොහෝ දුරින් පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයක බැවින් ඉන් මෙරටට සුනාමි හෝ වෙනත් අනතුරක් ඇතිවීමේ අවදානමක් නොමැති බවයි.
කෙසේ වෙතත්, ඉන්දුනීසියාව සහ අන්දමන් දූපත් ආශ්රිත නැගෙනහිර ඉන්දියානු සාගර කලාපයේ නොගැඹුරු මුහුදු පතුල ආසන්නයේ භූ කම්පනයක් සිදුවුවහොත් පමණක් ශ්‍රී ලංකාවට සුනාමි බලපෑමක් ඇතිවීමේ හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.