මෙරට වී ගොවිතැනේ දැවැන්ත පෙරළියක් - හෙක්ටයාරයකින් ටොන් 10ක් ගන්න 'සුපිරි වී යාය 10' හෙට
මෙරට වී වගාවේ ඵලදායිතාව ඉහළ නංවා හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 10ක අස්වැන්නක් ලබාගත හැකි බව ප්‍රායෝගිකව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘සුපිරි වී යාය 10’ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (26) පෙරවරු 8.30ට පොලොන්නරුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සංකල්පයක් හා මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම පීඨ සහ කෘෂිකර්මාන්තයට සම්බන්ධ පෞද්ගලික ආයතන ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
යාය සංකල්පය සහ නව තාක්ෂණය ඒකාබද්ධ කිරීම හරහා වී අස්වැන්න ඉහළ නැංවීමට මේ වන විට හැකි වී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අනුව, මීට පෙර හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 0.4ක් පමණ වූ අස්වැන්න මෙට්‍රික් ටොන් 4.5ක් පමණ දක්වා ඉහළ නංවා තිබේ.
දිවයින පුරා කුඹුරු යායවල් 500ක් ආවරණය කරමින් ක්‍රියාත්මක කළ ‘යාය 500’ වැඩසටහනේ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් තවත් යායවල් 500ක් එක්කර සමස්ත යාය සංඛ්‍යාව 1,000ක් දක්වා ව්‍යාප්ත කිරීමට ද සැලසුම් කර ඇත.
දැනටමත් ඇතැම් කුඹුරු යායවල හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 7.5, 9, 10 සහ 11.2 දක්වා අස්වැන්නක් ලබාගෙන ඇති බව සඳහන් වේ.
ඒ අනුව, තෝරාගත් කුඹුරු යායවල් 11ක් කේන්ද්‍ර කරගනිමින් නව ඒකාබද්ධ ප්‍රවේශය යටතේ ‘සුපිරි වී යාය 10’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.