ඊළඟ අවුරුද්දේ ඉඳන් නව ජාතික ප්‍රතිපත්තියක් - ලංකාවේ තරුණ පරපුර වෙනුවෙන් රු මිලියන 145 ක මුදලක්
ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මුහුණ දෙන වර්තමාන අභියෝග ජයගැනීමට සහ ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් සපිරීමට සකස් කෙරෙන නව ‘ජාතික තරුණ ප්‍රතිපත්තිය’ (National Youth Policy) 2027 වසරේ මුල් කාර්තුව වන විට අවසන් කර ක්‍රියාත්මක කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසූ බව සඳහන්.
අගමැතිනිය මේ බව කියා ඇත්තේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ "තරුණ සංවර්ධනය පිළිබඳ පළමු ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය 2026" අමතමින් අද (16) දින රත්මලාන ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩල ශ්‍රවණාගාරයේදීයි.
එහිදී "ස්වශක්තීන් මත පදනම්ව සමාජීය පරිවර්තනයක නියමුවන් ලෙස, අයිතිවාසිකම් උරුම කරගත් තාරුණ්‍යයක්" මැයෙන් පැවැති මෙම සම්මන්ත්‍රණයේදී ප්‍රධාන ක්ෂේත්‍ර 9ක් ඔස්සේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කර ඇත.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, 2014 වසරේදී ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතක් සකස් කළද එය ක්‍රියාත්මක නොවූ බැවින්, වර්තමාන තාක්ෂණික, ආර්ථික හා රැකියා වෙළඳපොළ වෙනස්කම්වලට ගැළපෙන පරිදි සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් නව ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින බව පවසා ඇත.
"තරුණයින් මුහුණ දෙන ගැටලු විද්‍යාත්මක හා තිරසාර ලෙස විසඳීම සඳහා මාර්ගෝපදේශ සහ නිර්දේශ ලබා දිය හැකි ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම රජයේ අභිප්‍රායයි. ප්‍රතිපත්තියක් සකස් කිරීම කියන්නේ ආරම්භය පමණයි. ජාතික තරුණ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය රඳා පවතින්නේ එය ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ ඇගයීම මතයි. තරුණයින්, වෙනස්කම්වලට මුහුණ දීමට සමත් නම්‍යශීලී (resilient) පිරිසක් බවට පත්කිරීම සහ ලෝකයේ සිදුවන සාධනීය වෙනස්කම්වලට නායකත්වය දෙන පිරිසක් බවට පත්කිරීම අපගේ අරමුණ විය යුතුයි."
එසේම ඇය පෙන්වා දෙන්නේ රජයේ පොදු ආයෝජන වැඩසටහන යටතේ තරුණ හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 145 ක මුදලක් වෙන් කර තිබෙන අතර, මෙම සම්මන්ත්‍රණයට රුපියල් මිලියන 5 ක් වෙන් කර ඇති බවයි.
එමෙන්ම තාක්ෂණික දියුණුව හා ඩිජිටල්කරණය හමුවේ තරුණයින්ට අධ්‍යයන දැනුම පමණක් ප්‍රමාණවත් නොවන බැවින්, ප්‍රායෝගික, තාක්ෂණික සහ වෘත්තීය නිපුණතා ලබාදීමට විෂය නිර්දේශ නවීකරණය විය යුතු බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කරයි.
අඳාළ පර්යේෂණ සම්මන්ත්‍රණය ලබන වසරේදී ජාත්‍යන්තර සමුළුවක් වශයෙන් පැවැත්වීමට යෝජනා වී ඇති අතර, ඒ ඔස්සේ ශ්‍රී ලංකේය පර්යේෂකයන්ට කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් සම්බන්ධ වීමට විශාල අවස්ථාවක් හිමි වෙන බව සඳහන්.