ලාෆ් ගෑස් හිමියන්ට සුබ පණිවිඩයක් - ලාෆ් ගෑස් නොදුන්නොත් නිල් ගෑස් රජයෙන්
කහ පාට ගෑස් සිලින්ඩර ලබා ගත් පාරිභෝගිකයන්ට අදාළ සමාගම විසින් තවදුරටත් ගෑස් සැපයීම සිදු නොකළහොත්, එම සිලින්ඩර නිල් පාට ගෑස් සිලින්ඩර වෙත මාරු කිරීම සම්බන්ධයෙන් රජයට තීරණයක් ගන්නා වාතාවරණයක් උද්ගත විය හැකි බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යවරයා සඳහන් කළේ, සාමාන්‍ය දෛනික නිකුත් ප්‍රමාණයට වඩා මේ වන විට ගෑස් නිකුතුව වැඩි කර ඇති අතර, ගෑස් පාරිභෝගිකයන් පීඩාවට පත්වන්නේ නම් ඔවුන්ට සහනයක් සැලසීම සඳහා නව ගෑස් සිලින්ඩර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර ඇති බවයි.
ඒ අනුව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර, ලබන 12 වැනිදා සිට ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බවද ඔහු කියා සිටියේය.
තවද, කහ පාට ගෑස් සිලින්ඩරය නිල් පාට සිලින්ඩරයට මාරු කළ හැකිද යන්න සම්බන්ධයෙන් ජනතාව විසින් විමසීම් සිදු කරමින් සිටින අතර, අදාළ සමාගම විසින් කහ පාට සිලින්ඩර සඳහා ගෑස් සැපයීම නතර කළහොත් ඒ පිළිබඳව රජය අවශ්‍ය තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.