ලෝකෙම අමාරුවේ - ස්වාභාවික වායු මිල දැවැන්ත ලෙස ඉහලට
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ස්වාභාවික වායු මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති අතර අද දිනයේ පමණක් යුරෝපයේ වායු මිල 33% කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම බ්‍රිතාන්‍යයේ වායු මිල ද 30% කින් ඉහළ ගොස් ඇති අතර මෙය 2023 ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල අගය බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ලොව විශාලතම වායු අපනයනකරුවෙකු වන කටාර් බලශක්ති සමාගම 'QatarEnergy'සිය නිෂ්පාදන පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් නිෂ්පාදන කටයුතු නතර කිරීම මත ඊයේ දිනයේදී මිල ගණන් 50% කින් පමණ ඉහළ ගොස් තිබූ බවයි.
බ්‍රිතාන්‍ය 'Trading Economics' ආයතනයට අනුව, මෙම තත්ත්වය හමුවේ එක්සත් රාජධානිය දැඩි අවදානමකට ලක්ව ඇති අතර වායු ගබඩා කර තබා ගැනීමේ ධාරිතාව සීමිත වීම, ආනයන මත අධික ලෙස යැපීමට සිදුවීම ,පෙබරවාරි අවසානය වන විට එරට දේශීය තොග පවතින මට්ටම 30% කටත් වඩා අඩු මට්ටමක පැවතීම ඒ සඳහා බලපෑ ප්‍රධාන හේතු කිහිපයක් බව වාර්තා වේ. මෙම මිල ඉහළ යාම ඉදිරි මාසවලදී යුරෝපයේ සහ බ්‍රිතාන්‍යයේ බලශක්ති පිරිවැය ඉහළ යාමට සෘජුවම බලපානු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර, ඕමාන් රාජ්‍යයේ දුක්ම් 'Duqm' වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නිල නොවන ආරක්ෂක අංශ මූලාශ්‍ර උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ, ප්‍රහාරයෙන් සිදු වූ හානිය පාලනය කිරීමට සමත්ව ඇති අතර කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවය. කෙසේ වෙතත්, පසුගිය සති අන්තයේදී ද මෙම වරායටම එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් එක් සේවකයෙකු තුවාල ලාබා තිබුණි.
මෙම ප්‍රහාර මාලාවත් සමඟ කලාපයේ බලශක්ති ක්ෂේත්රය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි. ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ලෝකයේ මුළු ද්‍රව ස්වාභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකක් සපයන කටාර්හි නිෂ්පාදන කටයුතු ඊයේ සිට අත්හිටුවනු ලැබීය. එමෙන්ම මේ වන විට සෞදි අරාබියේ විශාලතම දේශීය පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ද තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වේ.