ගෝවීන්ට සුබ ආරංචියක් - ජනපතිගෙන් පොරොන්දුවක්
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ වුවද මෙරට ගොවි ජනතාවට අවශ්‍ය පොහොර අඛණ්ඩව සැපයීම සහතික කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (02) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.
පවතින පොහොර සංචිත බෙදාහැරීමේ යාන්ත්‍රණය විධිමත් කිරීමටත්, පොහොර ආනයනයේදී මතුවිය හැකි බාධා සැලකිල්ලට ගනිමින් විකල්ප ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
විශේෂයෙන්ම යුදමය තත්ත්වයන් නොමැති රටවල් සමඟ සාකච්ඡා කර නව ක්‍රමවේද ඔස්සේ පොහොර ගෙන්වීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
අර්බුදකාරී තත්ත්වයන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් ව්‍යාපාරිකයන් පොහොර සඟවා තැබීම හෝ වැඩි මිලට අලෙවි කිරීම වැළැක්වීමට දැඩි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.
එලෙස සඟවා තිබියදී සොයාගත් පොහොර තොග මේ වන විටත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති අතර, ඉදිරියේදී ආරක්ෂිත සංචිත ලෙස පොහොර තොග පවත්වාගෙන යාමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරන බව නිලධාරීහු මෙහිදී සහතික වූහ.