ලාල්ගේ ඔක්කොම දේපළ නීත්‍යානුකූලව උපයපුවා.. නඩු දැම්මොත් පෙනී ඉන්නවා - මහජන ආරක්ෂක නි. ඇමැතිගෙන් ලාල්ට ආරක්ෂාවක්
කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ දේපළ සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ, ඒ පිළිබඳව යම් පාර්ශ්වයක් නීතිමය පියවරක් ගන්නේ නම් එයට සාර්ථකව මුහුණ දීමට රජය සූදානම් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු අවධාරණය කළේ අදාළ දේපළ සියල්ල නීත්‍යනුකූලව උපයාගත් ඒවා බවයි.
එමෙන්ම අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ වත්කම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතාබහක් නිර්මාණය වී ඇති වුවත්, එම වත්කම් නීත්‍යනුකූලව උපයාගත් ඒවා බව රජයේ ස්ථාවරය බව දක්වා ඇත.
එමෙන්ම වටගල මහතා පෙන්වා දී ඇත්තේ ලාල්කාන්ත මහතා වසර 25කට අධික කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ නිලධාරියෙකු ලෙසත්, අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ වෘත්තීය සමිති නිලධාරියෙකු ලෙසත් කටයුතු කර ඇති බවත් ඒ සෑම වසරකම සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ රජය වෙත නිසි පරිදි ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේ වෙතත් පවුලේ එකම පිරිමි දරුවා වශයෙන් දෙමව්පියන්ගෙන් උරුම වූ දේපළ හේතුවෙන් සිය වත්කම්වල එක්වරම විශාල වැඩිවීමක් සිදුවූ බව ලාල්කාන්ත අමාත්‍යවරයා මේ වන විටත් ප්‍රසිද්ධ කර තිබෙනවා.
එහෙත් නීතිමය තත්ත්වයක් උද්ගත වුවහොත් එයට මුහුණ දීම මැති ඇමැතිවරුන්ගේ සාමාන්‍ය අදහස බවද වටගල මහතා වැඩිදුරටත් පවසා ඇත.
ඉකුත් මැතිවරණ සමයේදී තමන්ට කිසිදු දේපළක් නොමැති බවට ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශයත් සමඟ මෙම නව හෙළිදරව්වීම් සමාජය තුළ දැඩි කතාබහකට ලක්ව ඇත.