'හරක් කටා' වෙනුවෙන් රජය මාසිකව රුපියල් කෝටියකට අධික මුදලක් වැයකෙරේ
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' ඊයේ (14) ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ, තමා වෙනුවෙන් රජය මාසිකව රුපියල් කෝටියකට වඩා වැයකරන බවයි.
මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හරක් කටා හෙවත් නදුන් චින්තක නැමැත්තා වෙනුවෙන් රජය මාසයකට රුපියල් කෝටියක මුදලක් වැය කරන බවට ඔහුගේ නීතිඥයින් ද පසුගියදා අධිකරණය හමුවේ කරුණු දැක්විය.
නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට එරෙහිව පවතින නඩුවක් ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා හමුවේ පසුගිය 9 වැනිදා කැඳවූ අතර සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන සංජය ආරියදාස, පුබුදු රන්දිම සහ උදුල් ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේ තම සේවාදායකයා වෙනුවෙන් රජයට මාසිකව රුපියල් කෝටියකට අධික මුදලක් දැරීමට සිදුව තිබෙන බවයි.
ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට අයත් තංගල්ල පැරණි බන්ධනාගාරයේ මෙම සැකකරු පමණක් රදවා තිබෙන බවද, මොහුගේ ආරක්ෂාව සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් 63 දෙනක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් 24ක් ලෙස 87 දෙනෙක් යොදවා තිබෙන බවද නීතීඥින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කළේය.
එක් සැකකරුවෙක් පමණක් රදවා සිටින බන්ධනාගාරයට මාසිකව රුපියල් ලක්ෂයක ජල බිලක්ද, රුපියල් හැට පන්දහසක විදුලි බිලක්ද ලැබෙන බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දැනුම් දුන්නේය.
රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් සදහා වන ආහාර පාන, වැටුප් ඇතුළුව මෙම සැකකරු වෙනුවෙන් පමණක් මසකට රුපියල් කෝටියක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බවද නීතීඥයින් අධිකරණය හමුව් කරුණු දැක්වූවේය.
ගාල්ල සහ කොළඹ අධිකරණ හමුවේ විභාගවන නඩු සදහා මෙම සැකකරු තංගල්ලේ සිට රැගෙන එන බවත්, එහිදී ආරක්ෂාව සමග වාහන හතරක් පැමිණෙන බවත්, ගමන් ගන්නා අතර මරද ඇති පොලිස් ස්ථාන විසින් සැකකරුට ආරක්ෂාව ලබාදෙන බවත් පැවසූ නීතීඥයින් එක් සැකකරුවෙක්ට පමණක් මෙතරම් මුදලක් වැය කිරීමට හේතුව කුමක්දැයි විමසා සිටියේය.
මේ අතර සැකකරුට නරක්වූ ආහාර ලබාදෙන බවත්, අසනීපවලට ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව නොදෙන බවත්, නීතීඥවරුන් හමුවීමට අවස්ථාව ලබා නොදෙන බවත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උදුල් ප්‍රේමරත්න වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේය.
