රාජ්‍ය ආයතන විකිණීම ගැන අද ලැබුණු විශේෂ නියෝගය..!
ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) ටෙලිකොම්, රක්ෂණ, ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන විකිණීමට හෝ බැහැර කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කොට එම ක්‍රියාව වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම සංශෝධනය කිරීමට පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබාදුනි.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, අදාළ පෙත්සම සංශෝධනය කර එහි වගඋත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කිරීමට පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබාදී තිබේ.
අදාළ පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදි.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි වගඋත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කිරීමට අදහස් කරන බවත් ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබන වසරේ ජනවාරි මස 31 වනදා පෙත්සම සලකාබැලීම සඳහා කැඳවන ලෙස නියෝග කළේය.
ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සමාගම, හිල්ටන් හෝටලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා 2022 වසරේ සැප්තැම්බර් මස 13 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගනු ලැබූ බවයි, පෙත්සම්කරුවන් කියා සිටියේ.
එහෙත් ඉකුත් මාර්තු මස 21 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් අදාළ රාජ්‍ය ආයතන බැහැර කිරීමට තීරණය කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.
එම ක්‍රියාව තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කොට එම ක්‍රියාව වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටියෝය
