හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (27) දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව සඳහන්.
ඒ යාපනයේදී අතුරුදන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන දේශපාලන ක්රියාකාරීන් දෙදෙනා සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි ලබාදීම සඳහායි.
එම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්රාත් අධිකරණය ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා නියෝග කර තිබුණා.
2011 වසරේ දෙසැම්බර් 09 වැනි දින යාපනයේදී මෙම දේශපාලන ක්රියාකාරීන් දෙදෙනා අතුරුදන් වූ අතර, එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂ මහතායි.
ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා හිටපු ජනාධිපතිවරයා කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ යාපනය මහේස්ත්රාත් අධිකරණයට සාක්ෂි ලබා දුන් අතර එහිදී ඔහු ප්රකාශ කර තිබුණේ අදාළ සිදුවීමෙන් වසර ගණනාවක් ගතවී ඇති බැවින් ඇතැම් කරුණු තමන්ට මතක නොමැති බවටයි. එබැවින් හිටපු ජනාධිපතිවරයාගෙන් වැඩිදුර සාක්ෂි විමසීම අද සිදුකිරීමට නියමිත බව සඳහන්.