''යුද්ධ හමුදා රෝහලේ අත්තනෝමතික තීරණයක්: වගකීම භාර ගන්න'' - GMOA

sri lanka GMOA gmoa press
By Sithumi Sep 13, 2021 12:35 PM GMT
Sithumi

Sithumi

Report

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නාරහේන්පිට යුද්ධ හමුදා රෝහලේ රෝගී සත්කාර සේවා පවත්වාගෙන යාමට අනුයුක්ත කර සිටි වෛද්‍යවරුන් තිදෙනෙකුගේ ස්ථාන මාරු නියෝග වහා ම ක්‍රියාත්මක වන පරිදි අනුප්‍රාප්තික වෛද්‍යවරුන්ගෙන් පුරප්පාඩු පිරවීමකින් තොරව ක්‍රියාත්මක කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, එම අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් එම රෝහලේ කටයුතු බිඳ වැටීමේ වගකීම සම්පූර්ණයෙන් ම අදාළ වෛද්‍යවරුන් ඉවත් කිරීමට තීන්දු තීරණ ගත් හමුදා නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් භාර ගත යුතු බවය.

නාරහේන්පිට යුද්ධ හමුදා රෝහලේ රෝගී සත්කාර සේවා ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට එහි සිටින යුද්ධ හමුදාවට අනුබද්ධ වෛද්‍යවරුන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවූ බැවින් සෞඛ්‍ය අමාත්‍යංශයේ සිවිල් වෛද්‍යවරුන් 38 දෙනෙකු එම රෝහලට අනුයුක්ත කිරීම තුළින් සම්පූර්ණ කර දී තිබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබේ. 

ඒ අනුව, වෛද්‍යවරුන් පුරප්පාඩු පිරවීමකින් තොරව නිදහස් කිරීම හේතුවෙන් යුද්ධ හමුදා රෝහලේ දැනට සේවයේ නියුතු ඉතිරි සිවිල් වෛද්‍යවරුන්ට උද්ගත වී ඇති වෛද්‍ය හිඟය නිසා සිදු වන පීඩා ඇතුළු අනෙකුත් ගැටලු පිළිබදව සාකච්ඡා කිරීමට විශේෂ හමුවක් එම වෛද්‍යවරුන් සමග මීළග සැප්තැම්බර් 16 දින පැවැත්වීමට අද (සැප්. 13) රැස් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇති බව ද ඔවුන් සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.