ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ඉන්දියාව අලුත් තුරුම්පුවක් ගහන්න යයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අද (23) කොළඹ සිංහලීස් ස්පෝර්ට්ස් ක්ලබ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 165ක ජයක් හිමිකරගත් ඉන්දියාව මේ වනවිට තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණේ පසුවෙයි. ගාල්ලේදී ලැබූ ජයග්‍රහණයෙන් පසු තරගාවලිය සම්පූර්ණයෙන් ජයගැනීමේ අරමුණින් ඉන්දීය කණ්ඩායම කොළඹට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකාවට මෙම තරගය තරගාවලිය සම කිරීමට ඇති අවසන් අවස්ථාව බවට පත්ව තිබේ.
දෙවැනි ටෙස්ට් තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් පිළිබඳ අවධානය යොමුව ඇති අතර, විශේෂයෙන්ම 33 හැවිරිදි සාරන්ෂ් ජේන්ට ටෙස්ට් වරම් හිමිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව වාර්තා වේ.
ඔහුට අවස්ථාව හිමිවුවහොත්, දිගු කලක් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් පසු ඉන්දීය ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් ලබන නවතම ක්‍රීඩකයා බවට පත්වනු ඇත. සාරන්ෂ් ජේන් පළමු පෙළ තරග 54කදී කඩුලු 188ක් දවාගෙන ඇති අතර, පිත්තෙන් ලකුණු 2,223ක් රැස්කර තිබීමද ඔහුගේ තුන් ඉරියව් දක්ෂතාවය පෙන්නුම් කරයි.
ඔහු ශ්‍රී ලංකාවේ පැවති ඉන්දියා ‘A’ කණ්ඩායමේ සංචාරයටද එක්ව තිබේ. මේ අතර ගාල්ලේදී විශිෂ්ට දස්කම් දැක්වූ මනව් සුතාර් කඩුලු 10ක් දවාගනිමින් ඉන්දියාවේ ජයග්‍රහණයට ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේය.
ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න
ඒ සමඟ රවීන්ද්‍ර ජඩේජාද පන්දුවෙන් දස්කම් දැක්වීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ සංයෝජනය පිළිබඳ අවධානය යොමුව තිබේ. ඒ හේතුවෙන් ගාල්ලේදී අපේක්ෂිත දස්කම් දැක්වීමට නොහැකි වූ කුල්දීප් යාදව්ට දෙවැනි ටෙස්ට් තරගයේ ස්ථානය අහිමි විය හැකි බවද වාර්තා වේ.
සාරන්ෂ් ජේන් කණ්ඩායමට එක්වුවහොත්, එය ඉන්දීය දඟ පන්දු බලඇණියේ සැලකිය යුතු වෙනසක් වනු ඇත. අනෙක් අතට ශ්‍රී ලංකා කණ්ඩායමද ආබාධ සහ වෙනත් හේතු මත ප්‍රධාන පිතිකරුවන් කිහිපදෙනෙකු නොමැතිව මෙම තරගයට පිවිසීමට සිදුව තිබේ.
කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා පුහුණුකරු ගැරී කර්ස්ටන් තහවුරු කර ඇත.