පද්මේගේ කළු සල්ලිත් සුදු කරලා තියෙන්නේ ඔස්මන් - තොරතුරු රැසක් හෙළි වේ
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට චෝදනා ලැබූ ඔස්මන් ගුණසේකර හෙවත් 'ගම්පහ ඔස්මන්' නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, විදේශගතව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ නීතිවිරෝධී වත්කම් (කළු සල්ලි) මෙරට තුළ සිට සුදු කිරීමේ ප්‍රධාන මොළකරු ඔහු බව අනාවරණ වී තිබේ.
පැය 72ක රඳවා තබා ගැනීමේ කාලය අවසන් වීමෙන් පසු, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සැකකරුව තවදුරටත් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අද (2026 මැයි 16) නීතිමය අවසරය ලබාගෙන ඇත.
පසුගිය මැයි 13 වැනිදා ගම්පහ, ශ්‍රී බෝධි පාරේ පිහිටි ඔහුගේ නිවසේදී විදේශයක නිෂ්පාදිත රීපීටර් වර්ගයේ ගිනිඅවියක් සහ පතරොම් ද සමඟින් ඔස්මන්ව අත්අඩංගුවට ගැනුණේ, ගණේමුල්ලේ සංජීව ඝාතනය සඳහා ගිනිඅවි සැපයීමේ චෝදනාව මතය.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, ආරක්ෂක අංශ සහ සමාජය නොමඟ යැවීමේ අරමුණින් කෙහෙල්බද්දර පද්මේ සහ ගම්පහ ඔස්මන් අතර ව්‍යාජ සතුරුකමක් මවාපා තිබූ බවයි.
මීට පෙර අවස්ථාවලදී පද්මේගේ ගෝලයන් විසින් ඔස්මන්ව ඝාතනය කිරීමට පැමිණි බව කියන සිදුවීම් ද හුදු රඟපෑමක් පමණක් බවත්, ඔස්මන් තමන්ගේ විවිධ ව්‍යාපාර හරහා පද්මේගේ කළු සල්ලි සුදු කර ඇති බවත් පොලිසිය පවසයි.
මෙම මහා පරිමාණ ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණ වී ඇත්තේ මෑතකදී අසර්බයිජානයේ සිට මෙරටට පිටුවහල් කර රැගෙන ආ 'බටුවත්තේ චාමර' නමැති සැකකරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලිනි.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මේ වන විට මෙම ජාලයට සම්බන්ධ සෙසු පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ක්‍රියාත්මකය.