විජේ හමුවීමට මන්ත්‍රී අර්ච්චුනා චෙන්නායි යයි - අන්තිමට වුණු දේ මෙන්න
ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමැතිවරයා සිය හඬ අවදි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ප්‍රකාශ කර තිබේ.
තමිල්නාඩු මහ ඇමැති ජෝශප් විජේ (තලපති විජේ) මහතා හමුවීම සඳහා මේ දිනවල ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගොස් සිටින මන්ත්‍රීවරයා, TVK පක්ෂයේ ප්‍රමුඛ පෙළේ අමාත්‍යවරයෙකු වන රාජ්මෝහන් මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
කලාපීය දේශපාලනය තුළ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු වෙනුවෙන් තමිල්නාඩු ප්‍රාන්ත රජයේ සහාය අත්‍යවශ්‍ය බව ද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.
කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය සහ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ චෙන්නායි නුවර රැඳී සිටින මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට මේ දක්වා තමිල්නාඩු මහ ඇමැති ජෝශප් විජේ මහතා සෘජුව හමුවීමට නිල අවස්ථාවක් ලැබී නොමැති බවයි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී අර්ච්චුනා මහතා,
"මට මහ ඇමැති විජේ මහතා හමුවෙන්න හැකිවෙයි කියලා ලොකු විශ්වාසයක් නැහැ. විජේ මහතා තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම්දෙන අවස්ථාව සජීවීව දැකබලා ගන්න මට ලොකු ආසාවක් තිබුණා. නමුත් ඒ දවස්වල ලංකා පාර්ලිමේන්තුවේ කටයුතුවල නිරතව සිටි නිසා එය දැකබලා ගැනීමට නොහැකි වුණා. තමිල්නාඩු ජනතාව ඓතිහාසික දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවර ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි වෙනසක් සිදුවිය නොහැකි බව ප්‍රබල දේශපාලන විචාරකයින් පැවසුවා. නමුත් මම දිගින් දිගටම කියා සිටියේ මෙවැනි වෙනසක් සිදුවන බවයි "
යනුවෙන් ඔහු පැවසීය. දෙමළ ජනතාව වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමැති හඬ අවදි කළ යුතු බවද ඔහු මෙහිදී පවසා තිබේ.