බඳින්න බෑ කියනවද? ඒ මේ නිසා..ඔබටත් මේ ලක්ෂණ ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න
ආදරය, විවාහය කියන මාතෘකා අපි හැමෝගෙන ජීවිතයට ආවා ගියත් ඒ සම්බන්ධයෙන් විවිධ අය අතරේ විවිධ නිර්වචන තියෙනවා. ඒ අතරේ විවාහය ටිකක් සුවිශේෂී වෙනවා.
ඒකට හේතුව එය යම් තරමකට නීතිමය ස්භාවයක් ගැනීමත් ජීවිත කාලය පුරාවටම තමන් ළඟ සිටීමට සහකරුවෙක් හෝ සහකාරියක්ව අප තෝරා ගැනීමක් සිද්ධ කරන නිසයි.
හැබැයි ඉතින් ඒ විවාහය ගැනත් සුබවාදී අදහස් වගේම අසුබවාදී අදහස් දරන අය අපිට ඕනේ තරම් හමුවෙනවා. ඒ සඳහා විවිධ හේතු බලපානවා. හැබැයි අද මේ ලිපියෙන් කියන්න යන්නේ විවාහය ගැන නම් නෙවෙයි.
විවාහය ගැන සිහින දකින අය අතරේ විවාහයට අධික බියක් දක්වන පිරිසකුත් ඉන්නවනේ. එය සාමාන්‍යය යැයි සිතුවත් එය අසාමාන්‍ය වෙන්නත් පුළුවන්.

ඉතින් මේ ලිපියෙන් අද පාඨක ඔබව දැනුවත් කරන්නේ අන්න ඒ පිළිබඳවයි.
මේ වන විට වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් මුහුණ දෙන, එහෙත් එළිපිට කතා නොකරන මානසික තත්ත්වයක් වශයෙන් ගමෝෆෝබියාව (Gamophobia) හඳුන්වනවා.
ඉන් පුද්ගලයෙකු තවත් අයෙකුට දැඩිව ආදරය කළත්, විවාහය හෝ දිගුකාලීන බැඳීමක් ගැන කතා කරන විට දැඩි බියක් සහ පසුබෑමක් පෙන්නුම් කරන බව වාර්තා වෙනවා.
කෙටියෙන්ම කිව්වොත් මෙය විවාහය කෙරෙහි ඇති අසාමාන්‍ය සහ පාලනය කළ නොහැකි බියක්. ඒ වගේම මෙය සාමාන්‍ය "තනිකඩව සිටීමට ඇති කැමැත්ත" හෝ "නිදහස අගය කිරීම" වැනි පෞද්ගලික තේරීමකට වඩා එහා ගිය මනෝවිද්‍යාත්මක තත්ත්වයක් ලෙසත් අර්ථ දක්වනවා.
ගමෝෆෝබියාවෙන් පෙළෙන අයෙකු තුළ දක්නට ලැබෙන ලක්ෂණ ලෙස,
- විවාහය හෝ කැපවීම (Commitment) ගැන කතා කරන විට ඇතිවන තිගැස්ම.
-සහකරු හෝ සහකාරිය සමඟ සමීප සබඳතාවක් පැවතුණත්, එය "ස්ථිර" එකක් වීමට යන බව දැනෙන විට සබඳතාව නතර කිරීමට උත්සාහ කිරීම.
- විවාහය ගැන සිතන විට හෘද ස්පන්දනය වේගවත් වීම, අධික ලෙස දාඩිය දැමීම හෝ ක්ලාන්තය වැනි ලක්ෂණ ඇතිවීම.

මෙවැනි තත්ත්ව ඇති වීමට හේතු ලෙස,
දෙමාපියන්ගේ අසාර්ථක විවාහ ජීවිත හෝ දික්කසාද වීම් කුඩා කල සිට දැකීමෙන් ඇතිවන කම්පනයන්
විවාහය යනු සිරකඳවුරක් ලෙස හෝ තමන්ගේ අනන්‍යතාවය නැතිවන තැනක් ලෙස සිතීම
තමන් තෝරා ගන්නා සහකරු ඉදිරියේදී වෙනස් වේවි යැයි පවතින අනියත බිය
කොහොම වුණත් ගමෝෆෝබියාව කියන්නේ සුව කළ නොහැකි තත්ත්වයක් නොවේ.
එබැවින් පහත පියවර අනුගමනය කිරීමෙන් ඉන් මිදීමට හැකි බවත් වාර්තා වේ.
වෘත්තීය මට්ටමේ උපදේශනයක් මඟින් බියට මුල් වූ හේතුව සොයා ගැනීම.
තම සහකරු සමඟ විවෘතව කතා කර තමන්ගේ බිය සහ හැඟීම් පැහැදිලි කිරීම.
සෘණාත්මක සිතුවිලි ධනාත්මක ආකාරයට වෙනස් කර ගැනීමට ඇති ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීම.
විවාහයට අකැමැත්ත පළ කරන දූ දරුවන්, යහළුවන්, හිතවතුන් වැනි බොහෝ අය මධ්‍යයේ මෙවැනි තත්ත්වයක් නිසා විවාහයට අකැමැත්ත පළ කරන අයත් ඉන්න පුළුවන්.
ඒ නිසා විවාහය කෙරෙහි ඇති බිය නිසා තමන්ගේ ආදරය, සතුට අහිමි කරගන්නවා වෙනුවට, ඒ සඳහා පවතින මානසික බාධාවන් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම සාර්ථක ජීවිතයකට මඟ පාදන බව සිහි තබා ගන්න.
