ඉන්ධන මිල වැඩි ගාණකින් වැඩි වුණේ නැහැ - නියෝජ්‍ය ඇමති කට අරී
වත්මන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යමින් පැවතියද, ශ්‍රී ලංකාවේ දේශීය ඉන්ධන මිල ගණන් 2024 වසරේ මුල් භාගයේ මට්ටමට වඩා තවමත් අඩු බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.
මාර්තු 10 වැනිදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙසේ සඳහන් කළේය;
සාපේක්ෂව ස්ථාවර ගෝලීය තත්ත්වයක් පැවති 2024 මාර්තු මාසයේදී බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 85ක පමණ මට්ටමක පැවති අතර, එවකට ශ්‍රී ලංකාවේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 371කටත්, ඩීසල් ලීටරයක් රු. 363කටත්, භූමිතෙල් ලීටරයක් රු. 262කටත් අලෙවි විය.
කෙසේ වෙතත්, මැදපෙරදිග දේශපාලන අර්බුද හා ප්‍රධාන බලශක්ති සැපයුම් මාර්ග (විශේෂයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය) ආශ්රිත ගැටලු හේතුවෙන් වත්මන් බොරතෙල් මිල බැරලයකට ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
එවැනි අභියෝගාත්මක තත්ත්වයක් යටතේ වුවද, රජය ඉන්ධන මිල කළමනාකරණය කරමින් 2024 මුල් භාගයේ මිල ගණන්වලට වඩා අඩු මට්ටමක දේශීය මිල පවත්වා ගැනීමට සමත් වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මාර්තු 1 සිට ක්‍රියාත්මක වූ නව මිල ගණන් අනුව (Ceypetco වාර්තා අනුව):
ඔක්ටේන් 95 පෙට්‍රල්: රු. 340කට ඔක්ටේන් 92 පෙට්‍රල්: රු. 293කට ඩීසල්: රු. 329කට (සුපිරි ඩීසල් රු. 329 පමණ) භූමිතෙල්: රු. 281කට (පෙර මට්ටම්වලට සාපේක්ෂව යම් වැඩිවීම් ඇතත්, 2024 මාර්තු මට්ටමට වඩා අඩුය)
ගෝලීය බලශක්ති අස්ථාවරත්වය හේතුවෙන් මහජනතාවට ඇති වන බලපෑම පිළිබඳ රජය සැලකිලිමත් බවත්, බලශක්ති සැපයුමේ ස්ථාවරභාවය තහවුරු කරමින් මෙම තත්ත්වය පරීක්ෂාකාරීව කළමනාකරණය කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.