මුහුදුබඩ දුම්රිය මාර්ගය හේතුවෙන් සිදු වූ අපහසුතාවයට විකල්පයක්
අද (24) උදෑසන සිදු වූ "සාගරිකා" දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වීම නිසා මගීන් වෙනුවෙන් විකල්ප ප්‍රවාහන සේවා ලෙස ලංගම බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සංජීව කනකරත්න මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැහැදිලි කළේ, අද පස්වරුවේ කොටුව දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත, මාතර, ගාල්ල, අම්බලන්ගොඩ සහ හික්කඩුව දක්වා විශේෂ බස් රථ කිහිපයක් ධාවනයට එක් කර ඇති බවයි.
මෙම බස් රථවල ගමන් කිරීම සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍රයක් හෝ වලංගු දුම්රිය ප්‍රවේශපත්‍රයක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, මගීන්ගෙන් අමතර කිසිදු මුදලක් අය නොකරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.එහිදී අදහස් දැක්වූ ඔහු,
"අපි දහවල් 2ට ගාල්ල, බෙලිඅත්ත දක්වා බස් රථ 02ක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම හවස 04ට මාතර දක්වා බස් රථයක් ලබා දීලා තිබෙනවා. මේ බස් රථ කොටුව දුම්රිය ස්ථානයටම ගිහිල්ලා මගීන්ව අරගෙන අදාළ ගමනාන්තය දක්වා මගීන්ව ගෙනියනවා. මේකට කිසිදු මගියෙක් අතරමගින් ගන්නේ නැහැ. මේක දුම්රිය මගීන් සඳහාම විශේෂිත බස් රථ සේවාවක්. ඊට පස්සේ 04.45ට බස් රථ 03ක් ලබා දීලා තිබෙනවා. ඒවාවල ගමනාන්ත වෙන්නේ කොටුව දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත, මාතර, ගාල්ල. ඒ වගේම හවස 5ට අම්බලන්ගොඩ, හික්කඩුව දක්වා බස් රථ සේවාවන් දෙකක් ලබා දීලා තිබෙනවා. ඉන් පසුව අවසාන බස් රථ සේවාව හවස 6.15ට ගාල්ලට බස් රථ 03ක් ලබා දීලා තිබෙනවා. සම්පූර්ණයෙන්ම මෙම සේවාව දුම්රිය වාර ප්‍රවේශපත්‍රය සහ දුම්රිය ප්‍රවේශපත්‍රයක් සහිත අයට. අමතරව මගීන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නෑ"