හොරණ කාන්තාවන්ගේ රන්මාල කොල්ල කෑ කල්ලියක් කොටු
හොරණ ප්‍රදේශ රැසක මහා මාර්ගයේ ගමන් ගත් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑමේ සිදුවීම් මාලාවකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු හොරණ පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර මෙම අපරාධ මංකොල්ලකෑම් සඳහා අනුබල දුන් එක් සැකකරුවෙකුගේ මව සහ අනෙක් සැකකරුගේ නැන්දණිය ද සිටින බව පොලීසිය පවසයි.
නාර්තුපාන සහ බැල්ලපිටිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 සහ 35 පසුවන මෙම ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඉකුත් 25 වනදා සිට සතියක් වැනි කෙටි කාලයක් තුළ යතුරුපැදියකින් පැමිණ ස්ථාන හතරකදී මෙම රන්මාල මංකොල්ලකෑම් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
අපරාධ සිදුවූ ස්ථාන ආසන්නයේ තිබූ CCTV දර්ශන පරීක්ෂා කරමින් සිදුකළ දීර්ඝ හා ක්ෂණික විමර්ශනයකින් අනතුරුව පොලීසිය විසින් සැකකරුවන් සහ අනුබල දුන් පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.