හිටපු අමාත්‍ය රාජිතගේ සහෝදරයකු වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප
දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ හේවාහැලඹගේ මහීල් ප්‍රියදර්ශී සේනාරත්න රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප 2ක මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (18) දින නියෝග කර ඇත.
එසේම සැකකරුට විදෙස් ගමන් තහනමක් ද අධිකරණයෙන් නියම කර තිබෙනවා. මෙම සැකකරු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යන අයගේ සහෝදරයකු ද වන බව සඳහන්.
මෙම සිද්ධියට අඳාළ නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම කරන ලද කරුණු දැක්වීමෙන් පසු අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණා.
ලංකා ධීවර සංස්ථාවේ 2010 - 2012 කාලසීමාව තුළ දිවයින පුරා මසුන් අලෙවි සැල් ඉදිකිරීමේ සහ අලුත්වැඩියා කිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර, සෘජුවම තෝරාගත් ආයතන දෙකක් වෙත එම කටයුතු වෙනුවෙන් අනුමැතිය ලබාදීමේ සිද්ධියට අඳාළව සැකකරුට චෝදනා නගා තිබූ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
එමෙන්ම තවදුරටත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත්තේ එම ආයතන දෙක වෙත වැඩ කටයුතු පැවරීම සඳහා නිලධාරීන්ට බලපෑම් කර වගවීමට සැලැස්වීම මඟින් දූෂණය නමැති වරද සිදු කර ඇතැයි යන චෝදනාව මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.