හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වන ලලිත් කෝදාගොඩ ඇතුළු ඝාතන හතරක් සිදු කළ හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට
බණ්ඩාරගමදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සහ බොරැල්ලේදී තරුණයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන හතරකට සම්බන්ධ බවට සැක කෙරෙන හිටපු යුද හමුදා සෙබලෙකු පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ඉකුත් අගෝස්තු මාසයේදී පමණක් පුද්ගලයන් සිව්දෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය සඳහන් කර තිබෙනවා.
අගෝස්තු 7 වන දින බොරැල්ල සිරිසර උයන ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අම්පාර සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සැඟව සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ ඒකාබද්ධ විශේෂ වැටලීම් ඒකකයට තොරතුරක් ලැබුණු බව පොලීසිය වාර්තා කළා.
එහි ප්‍රතිඵලයක් මත අදාළ පුද්ගලයාව ඊයේ (12) දින එම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර සැකකරු පිළිබඳව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ඉකුත් අගෝස්තු මස 21 වනදා බණ්ඩාරගම, තුන්බෝධිය පාලම අසලදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වන ලලිත් කෝදාගොඩ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ද වෙඩික්කරු වශයෙන් කටයතු කර තිබෙන බවයි.
එසේම ඉකුත් අගෝස්තු මාසයේම 27 වනදා පානදුර දකුණ අළුබෝගහවත්ත ප්‍රදේශයේදී කුඩු නිලංග නැමැත්තාගේ මාමණ්ඩිය ඝාතනය කිරීමේ සිද්ධියේදි වෙඩික්කරු වශයෙන් මෙම පුද්ගලයා කටයුතු කර ඇති බවට සැක කරන බවද පොලිසිය ප්‍රකාශ කර ඇත.
මෙම වෙඩිතැබීම් තුනක ටී-56 වර්ගයේ ගිනිඅවි යොදාගෙන සිදුකර තිබූ අතර ඔහු පසුගිය අගෝස්තු මාසයේදී පමණක් අවස්ථා තුනකදී සිදුකළ වෙඩිතැබීම්වලින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද පොලිසිය පවසයි.
ඊට අමතරව සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් ද සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වුණා.
මේ අතර පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරු 2015 වසරේදී යුධ හමුදා සේවයෙන් පලාවිත් කුඩු සළිඳු, දෙහිබාලේ අයියා, දෙහිබාලේ මල්ලි සහා වැලිගම සහන් යන අපරාධකරුවන් සමග සමීප සබඳතා පවත්වන අයෙක් බවට තොරතුරු ලැබී ඇති බවයි.
මොහු ඔවුන්ගේ කුලී ඝාතනයෙකු වශයෙන් ක්‍රියාකර ඇති බවට සැකකරන බවත් පොලීසිය සඳහන් කළා.
කෙසේ වෙතත් ඔහුව වැඩිදුර විමර්ශන සඳහා දමන පොලිසිය වෙත භාරදී තිබෙනවා.