මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක් [VIDEO]
මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයාගත් අයිස් (ක්‍රිස්ටල් මෙත්) නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන බහාලුම් දෙක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
දෙරණ නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, මෙම බහාලුම් දෙක මීට පෙර වරායෙන් නිදහස් කෙරුණු ප්‍රශ්නගත කන්ටේනර් 323 සමඟ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.
එම කන්ටේනර් 323 පරීක්ෂා නොකර නිදහස් කෙරුණු ඒවා වන අතර, මෙම බහාලුම් දෙක සම්පූර්ණයෙන් පරීක්ෂා කර නීත්‍යානුකූලව මුදාහැර ඇති බව ඔහු පැහැදිලි කළේය. පොලීසියද තහවුරු කර ඇත්තේ එම 323 කන්ටේනර් අතර මෙම බහාලුම් දෙක නොතිබූ බවයි.
මෙම බහාලුම් දෙක 2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර, මාස කිහිපයක් නිෂ්කාශනය නොවී රැඳී තිබී ඇත. මුලින් ආනයනකරු ලෙස සඳහන් ආයතනය එය තමන්ගේ නොවන බව ප්‍රකාශ කිරීමත් සමඟ හිමිකාරිත්වය කිහිප වතාවක් මාරු වී ඇති බව වාර්තා වේ. අවසානයේ මෙම වසරේ ජනවාරි මාසය අවසානයේදී මෙම බහාලුම් නිෂ්කාශනය කරගෙන තිබේ.
නිෂ්කාශනය කිරීමේදී රේගු නිලධාරීන් විසින් මෙම බහාලුම් සියුම් ලෙස පරීක්ෂා කර ඇති බව අධ්‍යක්ෂ පුංචිහේවා මහතා සඳහන් කළේය. භාණ්ඩයේ ප්‍රකාශිත නම් වන්නේ “ටැල්ක් පවුඩර්” (talc powder) සහ “ටැල්ක් ස්ටෝන්” (talc stone) ය. මෙය සාමාන්‍යයෙන් ආනයනය කෙරෙන භාණ්ඩයක් වන අතර, ළදරු පවුඩර්, තීන්ත, පොලිෂ් ආදිය සඳහා භාවිතා වන බව ඔහු පෙන්වා දුන්නේය. එසේම, මත්ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා භාවිතා කරන ටෙස්ට් කට්ටලයට මෙම ද්‍රව්‍යය ප්‍රතිචාර නොදැක්වූ බවද ඔහු අනාවරණය කළේය.

විජේරාමෙන් යන්න කිව්වට මොකද මහින්දට කොළඹ 7න් ගෙවල් හතරක්, ඇවිත් එකක් තෝරලා දෙන්න කියලා යාපාටත් ආරාධනා
කෙසේ වෙතත්, මෙම ද්‍රව්‍යයේ සැබෑ ස්වභාවය තහවුරු කිරීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ (NDDCB) රසායනාගාර වාර්තාව බලාපොරොත්තු වන බව රේගු අධ්‍යක්ෂක පැවසීය.
එම වාර්තාව ලැබුණු පසු සම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සහ වරාය පාලන අංශය ජාත්‍යන්තර සංවිධානයක් වන UNODC සමඟ සමීපව කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.
මෙම පරීක්ෂණයට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයද සම්බන්ධ වී ඇති අතර, ඔවුන්ගෙන් ලිඛිත අනුමැතිය ලබාගෙන බහාලුම් නිදහස් කර ඇති බවද සඳහන් වේ. භාණ්ඩයේ ප්‍රකාශිත වටිනාකම අඩු බැවින් අමතර බදුද අයකර තිබේ.
පෞද්ගලික උපකල්පනයක් ඉදිරිපත් කරමින් පුංචිහේවා මහතා පැවසුවේ, ටැල්ක් ස්ටෝන් සැහැල්ලු ගල් වර්ගයක් බැවින් ඒ තුළ වෙනත් ද්‍රව්‍ය අවශෝෂණය වී තිබිය හැකි බවයි. කෙසේ වෙතත්, මෙය රසායනාගාර වාර්තාව මඟින් තහවුරු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති අතර, රේගුවේ පරීක්ෂණ ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳව ප්‍රශ්න මතුව තිබේ.