වෙළඳසැලකදී පහරකෑ තරුණියට පෙර වැරදි නොමැති බවට අධිකරණය කියයයි..
බොරැල්ල පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ කාන්තාවකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් රුපියල් 5,000 බැගින් වූ ශරීර ඇප මුදා හැර තිබෙන බව වාර්තා වනවා.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සජින්ද්‍රා වීරසූරිය මහත්මිය විසින් ඊයේ (25) නිකුත් කළ නියෝගයකට අනුවයි.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් ඊයේ දිනයේ හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කෙරුණා.
එහි දී අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, පැමිණිලිකාරිය විසින් ඔවුන් හත් දෙනාගෙන් පස් දෙනෙකු හඳුනාගත් බවයි.
කෙසේ වෙතත් පැමිණිලිකාරිය සම්බන්ධයෙන් පෙර වැරදි පවතින බවට පොලිසිය විසින් ප්‍රකාශ කර තිබුණ ද අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ එවැන්නක් සඳහන් කර නොතිබීම ද විශේෂත්වයක්.
පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර සිටියේ, පහර කෑමට ලක් වූ කාන්තාව පසුගිය 22 වන සිකුරාදා පෙරවරු 9.30ට පමණ අදාළ සුපිරි වෙළඳසැලට පැමිණි කාන්තාව විසින් කිරි පැකට්ටුවක් සොරාගෙන එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි.
අනතුරු සිය ළදරු කිරි පැකට්ටුවක් ගැනීමට අදාළ සුපිරි වෙළඳසැලකට ගොස් තිබෙනවා.
එහි මිල රුපියල් 1080 ක් වූ අතර එවැනි මුදලක් තමන් සතුව නොමැති වීම හේතුවෙන් ඇය රුපියල් 60කට චොකලට් පැකට්ටුවක් මිල දී ගෙන ඇති බව සඳහන්.
සේවක සේවිකාවන් අදාළ කාන්තාව කෙරෙහි විමසිල්ලෙන් සිට ඇති අතර ඇය ඉන් පිටතට පැමිණීමට උත්සාහ කළ අවස්ථාවේ දී එහි කලමනාකාරියක විසින් පහර දී ඇති බවයි පොලිසිය අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ.
මෙම නඩුවනොවැම්බර් මස 08 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
