ඉදිරියේදී කන්න බොන්න නැති වෙයිද? ආසියාවට එන දරුණු ආහාර උද්ධමනය ගැන ෆිච් කියන කතාව
ෆිච් රේටින්ග්ස් ආයතනය අනතුරු අඟවන්නේ, දිගුකාලීන එක්සත් ජනපද - ඉරාන ගැටුමක් හේතුවෙන් ගෝලීය පොහොර සැපයුමට බාධා ඇතිවුවහොත් ආසියාව ඉහළ ආහාර උද්ධමන අවදානමකට මුහුණ දිය හැකි බවයි.
එම ආයතනය පෙන්වා දෙන්නේ, පොහොර සැපයුම අඩුවීම සහ මිල ඉහළ යාම නිසා ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය වැඩිවී වගා ප්‍රමාණය අඩුවිය හැකි අතර, එය 2026 අගභාගයේදී ආහාර මිල ඉහළ යාමට හේතු විය හැකි බවයි.
ගල්ෆ් කලාපය සහ චීනය වැනි ප්‍රධාන පොහොර සැපයුම්කරුවන්ගේ සැපයුම් අවහිරතාද, බලශක්ති මිල ඉහළ යාම සහ නැව්ගත කිරීමේ බාධාද මෙම තත්ත්වය තවත් උග්‍ර කරන බව ෆිච් පවසයි.
දැනටමත් නයිට්‍රජන් මත පදනම් වූ යූරියා මිල ටොන් එකකට ඇමරිකානු ඩොලර් 700ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවත්, එය ගැටුමට පෙර පැවති ඩොලර් 465ක මට්ටමට වඩා සැලකිය යුතු වර්ධනයක් බවත් සඳහන් වේ.
ෆිච් පෙන්වා දෙන්නේ, ආසියාවේ බොහෝ රටවල් දේශීය ආහාර නිෂ්පාදනය මත යැපෙන බැවින් මෙවැනි සැපයුම් බාධා නිෂ්පාදනයට සෘජු බලපෑම් එල්ල කළ හැකි බවයි. ශ්‍රී ලංකාව, පිලිපීනය සහ බංග්ලාදේශය වැනි රටවල් ආහාර ආනයන මත සැලකිය යුතු ලෙස යැපෙන බවද වාර්තාව සඳහන් කරයි.
එසේම, ලෝක ආහාර වැඩසටහනට අනුව දිගුකාලීන ගැටුම් සහ ඉහළ තෙල් මිල සමඟ එක්වුවහොත් ආසියාවේ තවත් මිලියන ගණනක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයට පත්විය හැකි බවද අනතුරු අඟවා ඇත.
රජයන් ආහාර හා පොහොර මිල ස්ථාවර කිරීමට සහනාධාර ලබාදීමට යාමෙන් මූල්‍ය පීඩනය වැඩිවිය හැකි බවත්, එය අවසානයේ සමාජ හා ආර්ථික අවදානම් තවත් ඉහළ නැංවිය හැකි බවත් ෆිච් රේටින්ග්ස් අවධාරණය කරයි.