දිට්වා නිසා විපතට පත්වූවන්ට තවත් මාස 03ක් විශේෂ දීමනාවක්
දිට්වා (Ditwa) ආපදාවෙන් පීඩාවට පත්ව නිවාස අහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් රජය මගින් ගෙවනු ලබන නිවාස කුලී සහනාධාරය තවත් මාස තුනක කාලයකින් දීර්ඝ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (2026 මැයි 12) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
ආපදාවෙන් අවතැන් වූ පිරිස් නැවත පදිංචි කිරීමේ කටයුතු මාස තුනක් ඇතුළත කඩිනමින් අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීමේ ගැටලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විමසා බැලීමට ද කටයුතු කළේය.
ඊයේ මුළු අම්බලන්තොටම නොසන්සුන් කරමින් පිළිරුවක් මත හිස තබා ගිය සැකකරුවන් අත්අඩංගුවට - ඝාතනය කරද්දි දරුවොයි බිරිඳයිත් ගේ ඇතුළේ
නිවාස ඉදිකිරීමේදී පවතින මිල විචලනයන් පිළිබඳ ගැටලුව ලබන සඳුදා වන විට විසඳන බවත්, මාර්තු 01 වැනිදා පැවති මිල ගණන්වලට අදාළව සහන සැලසීමට පියවර ගන්නා බවත් ඔහු මෙහිදී සහතික විය.
රටේ පවතින ආර්ථික තත්ත්වය සහ ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව ද ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළේය.
මැයි මාසය සඳහා ඉන්ධන ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 550කට අධික අතිවිශාල මුදලක් වැය වන බව පෙන්වා දුන් ඔහු, පෙබරවාරි මාසයේ එම වියදම ඩොලර් මිලියන 200කටත් වඩා අඩු මට්ටමක පැවති බව සිහිපත් කළේය.
මේ හේතුවෙන් රාජ්‍ය අංශයේ ඉන්ධන භාවිතය උපරිමයෙන් සීමා කරන ලෙසත්, වාහන මිලදී ගැනීම් තාවකාලිකව නවතා ඇති නමුත් වසර අවසානය වන විට එම අවශ්‍යතා සපුරාලීමට උත්සාහ කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.