එක්ස්ප්‍රස් පර්ල් සල්ලි ගිය ගිණුම ගැන හෙළිදරව්වක්
කොළඹ වරාය ආසන්නයේ ගිනිගෙන විනාශවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් නඩු පැවරීම හා වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට මෙරට යම් බලධාරියෙකුට අල්ලසක් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඇරඹීමට උපදෙස් ලබාදුන් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
මැයි 20 වැනිදායි 2021 මැයි 15 වනදා ඉන්දියාවේ හසීරා වරායේ සිට පැමිණි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූයේ. නයිට්‍රික් ඇසිඩ් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහිත බහාලුම් 1,486ක් නෞකාවේ තිබුණු අතර ඉන් රැසක් ගිනිගනිද්දී තවත් බහාලුම් ගණනාවක් මුහුදුබත් වුණා .
මීගමුවට ආසන්න අවට මුහුදු තීරයට හා පරිසර පද්ධතියට ඉන් සිදුවූයේ දැවැන්ත හානියක්. එම හානියට අදාළව අමෙරිකානු ඩොලර් බිලියන 6.2ක වන්දියක් නෞකා සමාගමෙන් මෙරටට ලබාගැනීමේ හැකියාව ඇතත් නඩු පැවරීම මෙතෙක් සිදු නොකරන්නේ මන්දැයි පාර්ශ්ව රැසක් රජයෙන් ප්‍රශ්න කළා.
විශේෂඥයන් පවසන පරිදි ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 32ක් වැනි කාලයක් පමණක් වන අතර ශ්‍රී ලංකාව තුළ නඩු පවරමින් වැඩි වාසියක් ලබාගත හැකිවී තිබියදී සිංගප්පූරුවේ නඩු පැවරීමට බලධාරීන් තීරණය කළේ මන්දැයි යන්න විශේෂඥයින් තුළ සැක මතුකළ තවත් කරුණක්.
මේ අතරතුරදීයි නෞකාවේ විමර්ශන හා නඩු පැවරීමට අදාළව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුණේ. අමාත්‍යවරයා සඳහන් කළේ නෞකාව සම්බන්ධයෙන් නඩු පැවරීම හා වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට මෙරට යම් බලධාරියෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 250ක අල්ලසක් නෞකාවේ රක්ෂණ සමාගම ලබාදී ඇතැයි තොරතුරු ලැබුණු බවයි.
එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ අදහස් පහතින්, "මට නිරන්තරයෙන්ම යම් යම් පාර්ශ්ව තොරතුර දුන්නා. යම් පාර්ශ්වයක් මේක යටගහන්න අල්ලසක් අරගෙන තියෙනවා කියලා.
මට දුන්න තොරතුරු අනුව සිංහල නමක් තියෙන එංගලන්තයේ බැංකුවක පුද්ගලයෙකුගේ ගිණුමකට ඩොලර් මිලියන 250ක් බැරවෙලා. මේක තමයි ගිණුම් අංකය..
මේක තමයි ගනුදෙනුව වෙලා තියෙන රෙෆරන්ස් අංකය. මේකේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. මේක බරපතළ කාරණයක්. ඒක එදිනම පොලිස්පතිවරයාට සහ CID එකේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට භාරදීලා තියෙනවා. දැන් ඒ පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා පවත්වාගෙන යනවා." මේ අතර මෙම චෝදනා පිළිබඳ විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා සමුද්‍රීය පරිසර අධිකාරීයේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණිල්ලක් ගොනු කළා.
නෞකා අනතුර සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර අධිකාරිය නිසි පරීක්ෂණයක් සිදුනොකිරීම නිසා හානියට වන්දි ලබාගැනීමට ඇති අවස්ථාව ඉතා අවම බවයි මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ.