"මම සිරගෙදරට බය නැහැ" - ප්‍රංශ හිටපු ජනාධිපති සාර්කෝසිගේ සිරදඬුවම අද ඇරඹේ

By Shehan Oct 21, 2025 03:27 AM GMT
Report

2007දී ලිබියාවෙන් මැතිවරණ අරමුදල් රැස්කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ප්‍රංශ හිටපු ජනාධිපති නිකොලස් සාර්කෝසිට පනවන ලද වසර පහක සිර දඬුවම අද(22) සිට ආරම්භ වේ.

ඔහු සිරගත වීමට බියක් නැති බව පවසා ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේය.

පැරිසියේ සැන්ටේ බන්ධනාගාරයේ සිරගත කිරීමට නියමිත සාර්කෝසි, දඬුවම ආරම්භ වීමට පෙර බෑග් ඇසුරුම් කර ඇති අතර සන්සුන්ව සිටින බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

“තමන්ට විශේෂ වරප්‍රසාද එපා.. මම සිරගෙදරට බය නැහැ. සැන්ටේ බන්ධනාගාරයේ දොරටුව ඉදිරියේදීත් මම හිස ඔසවාගෙන සිටිනවා” යැයි සාර්කෝසි පවසා ඇත.

ලා ට්‍රිබියුන් ඩිමන්චේ පුවත්පතට අදහස් දක්වමින් සාර්කෝසි කියා සිටියේ, සිරගතව සිටින විට ඒ ගැන පැමිණිලි කිරීමට හෝ අනුකම්පා ඉල්ලීමට අවශ්‍ය නැති බවයි.

සිරගතව සිටින කාලය තුළ පොතක් ලිවීමට ඔහු සැලසුම් කර ඇත.