ඇල්ලේ බසයේ වටිනාකමට වැඩිය මෝස්තරයට වියදම් කරලා - මෝස්‌තර වියදම මෙන්න
පසුගියදා ඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් 15 දෙනෙකු මියගොස් තවත් බොහෝ දෙනෙකුට බරපතල තුවාල සිදුවූ අතර, එම බස් රථයේ වටිනාකමට වඩා එහි මෝස්තර සඳහා වැඩි මුදලක් වැය කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා (12) දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පැවසීය.
අනතුර සම්බන්ධයෙන් විමර්ශන සඳහා තමා ද සහභාගී වූ බවත්, බස් රථයේ හිමිකරු සමඟ සාකච්ඡා කිරීමේදී ඔහු පවසා ඇත්තේ බස් රථය රුපියල් ලක්ෂ 55කට මිලදී ගෙන, එහි මෝස්තර සඳහා රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් වැය කළ බවයි.
විනෝද චාරිකා සඳහා යන පිරිස් අතර මෝස්තර බස් රථවලට ඉහළ ඉල්ලුමක් ඇති බැවින්, එවැනි විශාල මුදලක් වැය කර බස් රථය විනෝද චාරිකා සඳහා අලංකාර ලෙස සකස් කළ බව හිමිකරු පවසා ඇති බව ජාලිය බණ්ඩාර මහතා සඳහන් කළේය.
කෙසේ නමුත්, බස් රථයේ මෝස්තර සඳහා විශාල මුදලක් වැය කළද, එය නිසි ලෙස නඩත්තු කර නොතිබූ බව විමර්ශනවලදී හෙළිවූ බවත්, බස් රථයේ තිරිංග පද්ධතියේ පසුපස හබ් කොටසේ ග්‍රීස් කාන්දුවක් දීර්ඝ කාලයක් තිස්සේ පැවති බවත් පරීක්ෂණවලදී අනාවරණය වූ බව ජාලිය බණ්ඩාර මහතා පැවසීය.
අධික බෑවුම් සහිත මාර්ගවල තිරිංග පද්ධතිය දිගින් දිගටම ක්‍රියාත්මක කරමින් වාහන ධාවනය කිරීමේදී රෝදවල ඩ්‍රම් කොටස රත්වීම නිසා තිරිංග පද්ධතිය අක්‍රීය විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
සංචාරයක් සඳහා යෑමට පෙර තෝරාගන්නා වාහනයේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානය යොමු කර, එම වාහනය නිසි ලෙස නඩත්තු කර තිබේද යන්නත්, රියදුරුගේ පළපුරුද්ද පිළිබඳවත් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයා සංචාරයන්ට යෑමට අපේක්ෂා කරන පිරිසගෙන් ඉල්ලා සිටියේය.