කුකුළු මස් මිල පහළට - බිත්තර මිල ගැනත් විශේෂ සහතිකයක්
උත්සව සමයේ බිත්තර මිල ඉහළ නොදමා පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යාමට බිත්තර නිෂ්පාදන සංගම් එකඟතාව පළ කර තිබේ.
එමෙන්ම, උත්සව සමයේදී කුකුළු මස් හිඟයකින් තොරව වෙළෙඳපොළට සැපයීමටත්, එහි මිල තවදුරටත් අඩු කිරීමටත් කුකුළු මස් නිෂ්පාදකයන් සහ වෙළෙඳ සංගම් සහතික වී ඇත.
උත්සව සමයේදී බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (23) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා, අතිරේක ලේකම් ගිල්මා දහනායක, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
බිත්තර හා කුකුළු මස් වෙළෙඳ සංගම්, සුළු හා මහා පරිමාණ නිෂ්පාදකයන්, බෙදාහරින්නන් සහ සත්ත්ව ආහාර නිෂ්පාදකයන් ඇතුළු ක්ෂේත්රයේ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී වෙළෙඳපොළේ කුකුළු මස් මිල අඩුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණද, බිත්තර මිලෙහි යම් ඉහළ යාමක් පවතින බව අවධානයට ලක්ව තිබේ. ඒ අනුව උත්සව සමයේදී බිත්තර මිල තවදුරටත් ඉහළ නොදමා පවතින මිල මට්ටමේ පවත්වාගෙන යාමට නිෂ්පාදන සංගම් එකඟ වී ඇත.