ඉදිරි වර්ෂවලදී අධික තදබදයක් ඇති පාසල්වලට කරන්න යන දේ - 6 සිට 11 ශ්‍රේණි දක්වා පන්තිවල දැවැන්ත වෙනසක් කරන්න යන අගමැති
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සියලුම දරුවන්ට ගුණාත්මක සහ සමාන අධ්‍යාපන අවස්ථා තහවුරු කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ බවත්, පන්තියක සිටිය යුතු නියමිත සිසුන් ගණන නියමිත ලෙස පවත්වා ගැනීමට කටයුතු කරන බවත් පවසා ඇත.
ඒ අනුව අද(23) දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව කියා ඇත.
මා වෙනුවෙන් හෝ මේ රටේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් හෝ කතා කිරීමට ඔබට වරමක් නැත.. ලංකාව ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට හිටපු අමාත්‍ය අලි සබ්රිගෙන් විශේෂ සටහනක්
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය,
“ප්‍රධාන කුළුණු පහක් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම ප්‍රතිසංස්කරණ මඟින් පාසල් අතර පවතින භෞතික, මානව සහ තාක්ෂණික සම්පත් බෙදී යාමේ විෂමතාව අවම කිරීමට ප්‍රමුඛත්වය දී තිබෙනවා. පාසලේ පිහිටීම, සිසුන් සංඛ්‍යාව හෝ සමාජ ආර්ථික පසුබිම මත දරුවන්ට ලැබෙන අධ්‍යාපන අවස්ථා වෙනස් නොවන පරිදි, අවශ්‍යතාව මත පදනම්ව සම්පත් බෙදා හැරීමේ ජාතික ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කෙරෙමින් පවතිනවා. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවේ නිර්දේශ මත පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව තීරණය කර ඒ අනුව, ඉදිරි වර්ෂවලදී අධික තදබදයක් ඇති පාසල්වල සිසුන් සංඛ්‍යාව ක්‍රමයෙන් සීමා කෙරෙන අතර, ප්‍රාථමික පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 30ක් ලෙසත්, 6 සිට 11 ශ්‍රේණි දක්වා සිසුන් 35ක් ලෙසත්, උසස් පෙළ පන්තියක උපරිම සිසුන් 40ක් ලෙසත් පවත්වාගෙන යාමට නියමිතයි. එමෙන්ම ප්‍රාථමික පන්තියක අවම සිසුන් සංඛ්‍යාව ප්‍රාදේශීය අවශ්‍යතා මත වෙනස් විය හැකි බැවින් සිසුන් අඩු පාසල් පවත්වාගෙන යාම පිළිබඳව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා තීරණ ගන්න කටයුතු කරනවා. පාසල් අතර පවතින පරතරය අවම කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් ඇතුළත් ‘2026 – 2033 සාමාන්‍ය අධ්‍යාපන ආංශික පරිවර්තනීය රාමුව’ මේ වන විට සකස් කර අවසන්. මෙහි කෙටිකාලීන පියවර යටතේ, පාසල්වල හඳුනාගත් අවශ්‍යතා සපුරාලීමට පළාත් සහ මධ්‍යම රජය මඟින් පාසල් පාදක ප්‍රදාන ලබා දීම, සනීපාරක්ෂක පහසුකම් අවම පාසල් නඟා සිටුවීම සහ අඩක් නිම කළ ගොඩනැඟිලි සම්පූර්ණ කිරීම මේ වන විටත් සිදු කෙරේ. තවද, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් පාසල බැගින් දිවයින පුරා ප්‍රාථමික පාසල් 335ක් නවීකරණය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනවා. දිගුකාලීන සැලසුම් යටතේ අධ්‍යාපන කොට්ඨාස සහ කලාප ප්රමිතිකරණය කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති අතර, පාසල් අතර යටිතල පහසුකම් සහ ගුරුවරුන් විධිමත්ව හුවමාරු කර ගැනීමට ඉන් පියවර ගෙන තිබෙනවා. මීට අමතරව, දිවයිනේ සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතන සිතියම්ගත කර පරිපාලන සීමා නිර්ණය කිරීමට ජාතික කාර්ය සාධක බලකායක් පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, සිසුන් අඩු ග්‍රාමීය හා වතු පාසල් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග විධිමත්ව විමසා බැලීමට නියමිතයි. ගුරු හිඟය සහ අතිරික්තය පාලනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ 6/2021 දරන චක්‍රලේඛයට අනුව, පාසලේ සිටින සැබෑ සිසුන් සංඛ්‍යාවට අනුපාතිකව ගුරුවරුන් අනුයුක්ත කරන්න කටයුතු කරනවා.” යනුවෙන් සඳහන් කළා.
සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි
එසේම එහිදී මෙම නව රාමුව ක්‍රියාත්මක වීමත් සමඟ පහසුකම් අවම පාසල්වල දරුවන්ටද ඩිජිටල් පහසුකම්, ක්‍රීඩා, කලා සහ නවීන විද්‍යා හා තාක්ෂණික (STEM) ඉගෙනුම් අවස්ථා පුළුල් වී, සියලු පාසල් අතර සමාන අධ්‍යාපන පරිසරයක් නිර්මාණය වනු ඇති බවට අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් විශ්වාසය පළ කර ඇත.