පාසල් දරුවන්ට ඉතාමත් සතුටුදායි ආරංචියක් - නව රජයෙන් අධ්‍යාපනයට කරන්න යන දේ..

Ministry of Education Government Of Sri Lanka Sri Lankan Schools Latest Headlines
By Sewvandhi Feb 11, 2025 11:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසන්නේ, උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන සියලු ම සිසුන්ට එම අවස්ථාව සලසා දීම, රජය සිය වගකීමක් සේ සලකන බවයි.

වාර්ෂික ව උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 300,000ක් පමණ වන අතර එයින් සරසවි සඳහා සිසුන් 175,000ක් පමණ සුදුසුකම් ලැබුව ද එයින් රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් හිමිවන්නේ 40,000ක් 45,000ක් පමණ පිරිසකට පමණක් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 ඉතිරි දරුදැරියන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳව ද වගකිවයුතු රජයක් ලෙස නිහඬ ව නොසිටින බව‍යි, නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

අද (11) අධ්‍යාපන අමාත්‍යංශයේ දී රජයේ අනුමත රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බැව පැවසුවේය.

එමෙන්ම, සෞඛ්‍ය සහ අධ්‍යාපනය රජයේ වගකීමක් ලෙස විශ්වාස කරන බවත් ඒ නිසා ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සමඟ එකතු වී ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ එම සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබා දෙන බවත් අමාත්‍යවරයා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"පූර්ව ළමාවිය අධ්‍යාපනයේ සිට තෘතීය අධ්‍යාපනය දක්වා ම රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ රජය වගකිව යුතුයි කියා අපේ රජය විශ්වාස කරනවා. අනිවාර්යයෙන් ම පාසල් අධ්‍යාපනයට රජය මැදිහත් විය යුතු යි. එසේ ම ඉන් පිටට යන අයට ද අවශ්‍ය මාර්ග සහ පහසුකම් ලබා දිය යුතුයි කියා අපි විශ්වාස කරනවා. නිෂ්පාදන හා සේවා ආර්ථිකයක් ගොඩනැඟීමට සුදුසු පරිසරය අධ්‍යාපනය තුළින් සැකසිය යුතු යි. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ තත්ත්වය සුරක්ෂිත කිරීම පිණිස උසස් අධ්‍යාපන ආයතන නියාමනය කිරීමට අපි මැදිහත්විය යුතු යි. "

"නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ මේ පරිසරය නිර්මාණය කරන්නට අපි රජයක් ලෙස කැපවෙනවා. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම, ශිෂ්‍ය සුබසාධානය, විෂයමාලා යාවත්කාලීන කිරීම, නව විෂයමාලා හඳුන්වාදීම, ජාත්‍යන්තර ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අපි මූලිකත්වය ලබා දෙන්නට කටයුතු කරනවා."

You may like this video 👇


ReeCha