ඖෂධ ලබාදීමේ නව නීති රෙගුලාසි - වෛද්‍යවරුන්ට නව චක්‍රලේඛයක්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ (17) රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ බාහිරින් ගෙන්වා ගැනීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
මෙම චක්‍රලේඛයට අනුව, රෝහල් තුළ හෝ වෛද්‍ය සැපයුම් ඒකකය තුළ ඖෂධ හෝ ශල්‍ය උපකරණ නොමැති බව තහවුරු කිරීමෙන් පසු, ආයතන ප්‍රධානියාගේ වගකීම යටතේ, රෝගියාගේ හෝ රෝගියාගේ ඥාතීන්ගේ කැමැත්ත මත පමණක් බාහිරින් එම ඖෂධ හෝ උපකරණ මිලදී ගැනීමට වෛද්‍යවරුන් හෝ විශේෂඥ වෛද්‍යවරුන්ට නිර්දේශ කිරීමට අවසර ලබා දී ඇත.
මෙම ක්‍රියාවලියේ සම්පූර්ණ වගකීම ආයතන ප්‍රධානියා විසින් භාර ගත යුතු බව මාර්ගෝපදේශවල සඳහන් වේ. බාහිරින් ඖෂධ හෝ ශල්‍ය උපකරණ මිලදී ගැනීමේදී වෛද්‍ය සදාචාර රීතිවලට අනුකූලව කටයුතු කළ යුතු බවද එහි දැක්වේ.
ආයතනවල පවතින හා නොපවතින ඖෂධ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියා විසින් වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් නිරන්තරයෙන් දැනුවත් කළ යුතුය. එමෙන්ම, රෝගියා හෝ රෝගියාගේ ඥාතීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් පසුව, ඔවුන්ගේ කැමැත්ත ඇතිව පමණක් ඖෂධ හෝ උපකරණ බාහිරින් මිලදී ගැනීමට අවසර ඇත.
එසේ බාහිරින් ගෙන්වන ඖෂධ හා ශල්‍ය උපකරණවල තොරතුරු ආයතනයේ විශේෂ ලේඛනයක සටහන් කළ යුතු අතර, ඒ සම්බන්ධ සියලු විස්තර මාසිකව වෛද්‍ය සැපයුම් ඒකකයට වාර්තා කළ යුතුය.
මෙම මාර්ගෝපදේශ වෛද්‍ය පරීක්ෂණ සඳහා ද අනුගමනය කළ හැකි බව සඳහන් වේ. රෝහල තුළ නොමැති විශේෂ පරීක්ෂණ ආයතන ප්‍රධානියාගේ අනුමැතිය යටතේ බාහිරින් සිදු කරවා ගැනීමට ද අවසර හිමිවේ.
මෙම චක්‍රලේඛය මඟින් රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය හමුවේ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා සදාචාරාත්මක ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂිතය.
