දුමින්ද නාගමුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදාහරී

covid19 isolated quarantine pallekale dumindha nagamuwa
By Sewvandhi Jul 16, 2021 09:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවාසිටි දුමින්ද නාගමුව ඇතුළු 6දෙනා ඉන් පිටව ගොස් තිබේ.

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ විරෝධතාවයක නිරතවී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබුණු අතර ඉන්පසු දුමින්ද නාගමුව ඇතුළු පිරිස නිරෝධායනය සඳහා යොමු කර තිබුණි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 6දෙනා පොලීසිය විසින් ඉකුත් 7 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර පල්ලෙකැලේ ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවාගෙන සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා වහා අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති හබයාස්කෝපුස් පෙත්සමක් සලකාබැලීමට ලබන 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියමකර තිබේ.

එම නියෝගය නිකුත් කර ඇත්තේ මෙම පෙත්සම අද (16) සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් 7 වනදා කොම්පඤ්ඤ වීදිය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අසල උද්ඝෝෂණයක නිරතවෙමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවටගත් තම සේවාදායකයා පසුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර එම අධිකරණය මගින් ඇප මත මුදාහැරීමට නියෝගකර තිබූ බව සඳහන් කළේය.

ඉන් අනතුරුව පොලිසිය විසින් ඔහු බලහත්කාරී ලෙස පල්ලෙකැලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය කරා රැගෙන ගොස් රඳවාගෙන සිටි බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සාමාන්‍යයෙන් නිරෝධායනයට ලක්වන පුද්ගලයෙකුට රජයේ මධ්‍යස්ථානයක හෝ පෞද්ගලික හෝටලයක නිරෝධායනයවීමේ අවස්ථාව තෝරාගැනීමට ඉඩකඩ තිබුණත් තම සේවාදායකයාට එම අවස්ථාව පොලිසිය විසින් අහිමිකළ බවය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා රෝගයට අදාළව නිකුත් කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශය මගින් උද්ඝෝෂණ තහනම් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. දුමින්ද නාගමුව මහතාගේ බිරිඳ වන එන්. දුලානි ප්‍රියංගිකා මහත්මිය විසින් පෙත්සම ඉදිරිපත්කර තිබේ.

මේ අතර, නිරෝධායන නීති උපයෝගී කරගනිමින් තමන්ව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවාතැබීමට පොලීසිය ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනාකරමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර ඇති බව වාර්තා වේ.

නීතිඥ රවිනා ද සිල්වා මහත්මිය මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, වැලිකඩ, මිරිහාන සහ තලංගම පොලීසිවල ස්ථානාධිපතිවරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා නීතිපති ඇතුළු පිරිසක් නම්කර තිබේ.

පෙත්සම්කාර නීතිඥවරිය අධිකරණය හමුවේ කියා ඇත්තේ ඉකුත් 08 වනදා කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුම අසල පැවැති උද්ඝෝෂණයකදී නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනාකරමින් පොලිසිය විසින් තම සේවාදායකයා ඇතුළු පිරිසක් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත්කළ බවය.

අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසුව තම සේවාදායකයාට ඇප නියම වුවත් පොලීසිය බලාහත්කාරි ලෙස තම සේවාදායකයා ඇතුළු පිරිසක් බස් රථයකට නංවාගෙන මුලතිව් හි පිහිටි නිරෝධාන මධ්‍යස්ථානයකට රැගෙනගොස් රඳවාගෙන සිටින බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now