මත්ද්‍රව්‍ය භාවිතා කරන්නට ඉස්සරහට මේකයි වෙන්නේ - ආයේ සිරගත කිරීම වෙනුවට පුනරුත්තාපනයට
මහජන ආරක්ෂක, නීතිය හා සාමය සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් සිරගත කිරීම වෙනුවට ඔවුන් රෝගීන් ලෙස සලකා පුනරුත්ථාපනය කිරීමටත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටත් රජය තීරණය කර ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ දශක ගණනාවක් තිස්සේ දේශපාලන රැකවරණය මධ්‍යයේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාලය සහමුලින්ම බිඳ දැමීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවයි.
"මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාලය සහ දේශපාලනඥයන් අතර පැවති අශුද්ධ සබඳතාවය අපි දැන් අවසන් කර තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදා ගැනීම සඳහා ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා විහිදුණු දැවැන්ත මෙහෙයුමක් අපි ආරම්භ කර තිබෙනවා. මේ සඳහා ජාතික සභාවක්, දිස්ත්‍රික් සභා සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කමිටු පිහිටුවා ඇති අතර, ග්‍රාමීය මට්ටමින් මහජන ආරක්ෂක කමිටු 14,000කට අධික සංඛ්‍යාවක් මේ සඳහා දායක කර ගන්නවා," යැයි අමාත්‍යවරයා පැවසීය. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සම්බන්ධයෙන් රජයේ නව ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඔවුන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බවයි. ඒ වෙනුවට ඔවුන් රෝගීන් ලෙස සලකා විද්‍යාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කළ යුතු බවත්, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය මගින් මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් සහ ජාවාරම්කරුවන් කොටු කර ගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
තම බල ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය මර්දන කටයුතු නිසි පරිදි ඉටු නොකරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ද අමාත්‍යවරයා මෙහිදී අනතුරු ඇඟවීමක් කළේය. යම් ප්‍රදේශයක පොලිසිය මත්ද්‍රව්‍ය මර්දනයට අපොහොසත් වන්නේ නම්, වෙනත් කොට්ඨාසවල නිලධාරීන් යොදවා හෝ එම ජාවාරම් මැඩපවත්වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීම සඳහා රජය ගෙන යන මෙම වැඩපිළිවෙළට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනාගේ සහයෝගය හිමිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.